July 20, 2026

ගුරුවරයෙකුගේ මෝටර් රථයකට ගිනි ලෑ බවට දරුවා පිළිගෙන තිබුණද, ඔහු වයස අවුරුදු අටක් පමණ වන කුඩා දරුවෙකු බැවින් පාසල් පරිපාලනය හෝ ශ්‍රී ලංකා පොලිසිය ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනුකර නොමැති බවත්, ඉදිරියටත් වරදකරුවකු ලෙස සලකා කටයුතු නොකරන බවත් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ දරුවාට කිසිදු ආකාරයකින් චෝදනා එල්ල කිරීමක් හෝ පීඩනයක් එල්ල නොකරන බවයි. පාසල් බලධාරීන් විසින් දරුවාට අනිසි බලපෑම් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ ඔවුහු තරයේ ප්‍රතික්ෂේප කරති.

මෙම සිදුවීම ඉකුත් ජූලි 3 වැනිදා පස්වරු 2.55 ට පමණ පාසල් පරිශ්‍රය තුළදී ගුරුවරයාගේ මෝටර් රථය ගිනිබත් වීමත් සමඟ සිදුව තිබේ. පසුව පරීක්ෂා කරන ලද සීසීටීවී (CCTV) දර්ශන මගින් අනාවරණය වී ඇත්තේ කුඩා දරුවකු අදාළ වාහනය අසල ගැවසෙමින් ගිනිපෙට්ටියක් විසිකරන ආකාරයයි. අදාළ ගුරුවරයා රක්ෂණ හිමිකම් ලබාගැනීමේ අරමුණින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කරඇති අතර, එහිදී සීසීටීවී දර්ශන සහ ඡායාරූප ඉදිරිපත් කර තිබුණද දරුවාගේ නම සඳහන් කර නොමැත.

ගුරුවරයා විසින් දරුවාට හෝ දෙමාපියන්ට කිසිදු අයුරකින් පීඩනයක් එල්ල කර නොමැති වුවද, දරුවාගේ මව විසින් ගුරුවරයාට එරෙහිව කරන ලද පැමිණිලිවලට දරුවාගේ නම ඇතුළත් කර තිබීම කනගාටුවට කරුණක් බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ජූලි 04 වැනිදා විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති ඉදිරියේ දෙමාපියන් ද සමඟින් දරුවාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, තමා ගිනිකූරු කිහිපයක් දැල්වූ බවත් ඉන් එකක් මෝටර් රථයේ බම්පරය දෙසට විසි කළ බවත් දරුවා පිළිගෙන තිබේ. මාපියන් ද එම ක්‍රියාව සනාථ කර ඇති අතර, සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට පියා එකඟ වී ඇත. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය අලුත්වැඩියාව සඳහා රැගෙන යාමට අවසර දී තිබේ.

ආදිශිෂ්‍ය සංගමය අවධාරණය කරන්නේ අදාළ දරුවා දැනටමත් සාමාන්‍ය පරිදි පාසල් පැමිණෙන බවත්, ඔහුගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇති බවත්ය. සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කරමින් පාසල අපකීර්තියට පත්වන පරිදි සමාජ මාධ්‍යවල පළ කර ඇති විකෘති කරන ලද වාර්තා ඔවුහු හෙළාදකිති.

මීට පෙර එම මෝටර් රථයේ සීරීම් සිදුකිරීම සම්බන්ධයෙන් 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවාගේ සහෝදරයාට ගුරුවරයා විසින් දොස් පවරා හෝ දඬුවම් කර නොමැති බව දෙමාපියන් ද තහවුරු කර ඇත.

රක්ෂණ වන්දි හෝ අමතර කොටස් හිඟකම හේතුවෙන් වාහනයේ අලුත්වැඩියා කටයුතු තවමත් කර ගැනීමට නොහැකි වීම පිළිබඳව ගුරුවරයා කනගාටුව පළකරන බව ද සංගමය පවසයි.

5 වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ඉහළ කැපවීමකින් කටයුතු කරන මෙම ගුරුවරයා, සිද්ධියෙන් පසුවද කිසිදු බාධාවකින් තොරව ස්වේච්ඡාවෙන් අතිරේක පන්ති සහ මාර්ගගත පන්ති පවත්වමින් තම රාජකාරී අඛණ්ඩව ඉටුකරන බව පැවැසේ.

කෙසේවෙතත්, පාසල නිමවීමෙන් පසුවත් පැය තුනකට අධික කාලයක් දරුවා පිළිබඳව සොයාබැලීමකින් තොරව තබා ගැනීම සම්බන්ධයෙන් ආදිශිෂ්‍ය සංගමය මාපියන්ව විවේචනය කරයි.

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරෙන්නේ පාසල් කාර්ය මණ්ඩලයට නොව දෙමාපියන්ට බව ඔවුහු අවධාරණය කරති.

ජූලි 03 වැනිදා පාසල පස්වරු 1.00 ට නිමවීමෙන් පසු සෙසු දරුවන් නික්ම ගියද, මෙම දරුවා පස්වරු 4.00 වන තෙක් පැය තුනකට වඩා වැඩි කාලයක් පාසලේ රැඳී සිට ඇත.

වයස අවුරුදු 8 ට අඩු කුඩා දරුවෙකු මෙලෙස අනවශ්‍ය ලෙස පාසලේ රඳවාතැබීම මාපියන්ගේ බරපතළ වරදක් බවත්, පාසල නිම වූ වහාම දරුවන් නිවෙස් වෙත රැගෙන යෑමට දෙමාපියන් වගබලා ගත යුතු බවත් පවසමින් ආදිශිෂ්‍ය සංගමය සිය දැඩි අප්‍රසාදය පළකර තිබේ.

මෙම සිදුවීම මගින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් අවධානයක් යොමුවිය යුතු බවත්, කුඩා දරුවන් විසින් ජංගම දුරකථන අනවශ්‍ය ලෙස භාවිත කිරීම පිළිබඳව සමාජයට අනතුරු ඇඟවීමක් සපයන බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.