February 8, 2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාට් පුවරු (Smart Board) අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් වෙත බෙදාදීම ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා පාසල් මට්ටමින් මවුපියන්ගෙන් මුදල් එකතුකිරීම වහා නවත්වන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

“මේ වසරේ පාසල් පද්ධතියට අවශ්‍ය ස්මාට් පුවරු බෙදාදෙන්න කටයුතු කරමින් යනවා. කිසිම අයුරකින් මවුපියන්ගෙන් මුදල් එකතු කරන්න අවශ්‍ය නෑ. එහෙම එකතු කරනවා නම් ඒක වහාම නවත්වන්න. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නියෝගයක් නිකුත් කර තිබෙනවා පාසල්වල මුදල් එකතු කරන්න එපා කියලා.

“1-5 ශ්‍රේණිවලට ‘තොරතුරු තාක්ෂණය’ කියලා වෙනම විෂයයක් ඉගැන්වීම සිදුකරන්නේ නෑ. එහෙත් ගෝලීය තාක්ෂණික ලෝකය සමඟ ඉදිරියට යන්න එක් එක් වයස් කාණ්ඩවලට ගැළපෙන ලෙස තාක්ෂණික අවබෝධය දෙන්න විද්වත් උපදෙස් මත සංවාදයක් අප ආරම්භ කර තිබෙනවා. විෂයමාලා පිළිබඳව අප දේශපාලන තීන්දු ගන්නේ නැහැ. ඒ තීරණ ගන්නේ ළමා ආරක්ෂණය හා ඒ විෂය පිළිබඳ විද්වතුන්ගේ උපදෙස් අනුවයි.”