August 11, 2024

ඛනිජ සම්පත කළමනාකරණය කිරීම සඳහා විවිධ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුත්තලමේ ඉල්මනයිට් ගවේෂණ හා කැණීම් කටයුතු සැළකිව යුතු ලෙස කඩාකප්පල් වී ඇති බව වාර්තා වේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි ඒ සඳහා ඉදිරිපත් වූ Iluka Lanka Exploration (Pvt) Ltd සමාගමට සිය කටයුතු කරගෙන යෑමට අවසර දෙන්නේද යන්න පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති වීම ඊට හේතුවයි.

එසේම අවශ්‍ය සම්පත් සහ අවසර ලබා දෙන්නේ නම් තම සමාගමට ද පතල් කැණීම් කටයුතු කළමනාකරණය කිරීමේ හැකියාව ඇති බව Lanka Mineral Sand Ltd තහවුරු කර ඇත.

මෙම ව්‍යාකූලත්වය මධ්‍යයේ, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2023 අප්‍රේල් 10 වැනි දින Asha Minerals Ltd සමඟ මතභේදාත්මක වසර 30ක ගිවිසුමකට එළඹිණි.

නියමිත ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කරන ලද මෙම ගිවිසුම අනුගමනය කළ යුතු පියවර කිහිපයක් මග හැර තිබිණි.

එකල, Asha Minerals Ltd සතුව රුපියල් 1,000ක කොටස් ප්‍රාග්ධනයක් තිබූ අතර, එය සම්පූර්ණයෙන්ම තනි පුද්ගලයකුට අයත් වූ මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඛනිජ බලපත්‍ර සහ ඛනිජ ක්ෂේත්‍රයේ පෙර පළපුරුද්දක් නොතිබිණි.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ එකම දේශපාලන නොවන පත්වීම්ලාභියා වන භාණ්ඩාගාර නියෝජිත ඩබ්ලිව්.ඒ.වල්පිට මෙම ගිවිසුමට විරුද්ධ වී තිබිණි.

තවද, කල්බදු අයිතිය හිමි සියම් සිටි සිමෙන්ති සමාගම මෙම ගනුදෙනුව පිළිබඳ නොදැන සිටි අතර ඒ පිළිබඳ අදාළ බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තාවේ සඳහන් වේ.

මෙම සිදුවීම්වලින් පසුව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබූ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත්කර 2023 මැයි 30 දින මුදල් අමාත්‍යාංශය වෙත මාරු කරන ලදී.

මෙම තත්ත්වයන් නොතකා, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ Asha Minerals Ltd අතර ගිවිසුම විවාදාත්මකව පවතින අතර ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව Asha Minerals Ltd සමඟ තවත් ගිවිසුමකට එළැඹ තිබේ.

හිටපු මුදල් රාජ්‍ය ඇමැති සහ වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ පසුගිය දශකය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 20කට අධික මුදලක් ආයෝජනය කර ඇති පුත්තලම ඉල්මනයිට් සමාගමට ඉඩමට ප්‍රවේශ වීම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් එමගින් සැළකිව යුතු මුදලක් සාක්ෂාත් කර ගැනීමට බාධාවක් වී ඇති බවත්ය.