February 2, 2026

කොටිකම්බොක්ක මෙට්‍රික් ටොන් මිලියන 0.31ක තිරුවානා සම්පත ජාතික ආර්ථිකයට දායක කරගැනීම සඳහා කඩිනම් පියවර

මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, මෙරට සතු සුවිශේෂී ස්වභාවික සම්පතක් වන කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (2026.02.01) දින එක්විය.

මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධිය තුළ, මෙට්‍රික් ටොන් මිලියන 0.31ක අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බව හඳුනාගෙන තිබේ.

මෙවන් වටිනා ජාතික සම්පත් අවිධිමත් ලෙස විනාශ වීමට ඉඩ නොතබා, ඒවා විධිමත් ලෙස ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීම කර්මාන්ත අමාත්‍යංශයේ අරමුණයි.

ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පහත තීරණවලට එළැඹ තිබේ.

– අනවසර කැණීම් වැළැක්වීම: නිධිය අනවසර කැණීම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වහාම විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

සීමා නිර්ණය හා වාර්තාකරණය: වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිධිය පවතින කලාපයේ සීමා සලකුණු කිරීම සහ රාජකාරි කටයුතු වලදී මතුවන බාධාවන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරිය වෙත කඩිනමින් යොමු කිරීම.

– සංචිත නැවත ගණනය කිරීම: නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් නිධියේ පවතින සංචිත ප්‍රමාණය වඩාත් නිවැරදිව යළි ගණනය කිරීමට පියවර ගැනීම.

– විනිවිදභාවයෙන් යුත් කැණීම් ක්‍රියාවලිය: පවතින පාරිසරික සහ නීතිමය බාධාවන් නිරාකරණය කිරීමෙන් අනතුරුව, විධිමත් කැණීම් කටයුතු සඳහා කඩිනමින් අභිලාෂයන් කැඳවීමට (Calling for EOIs) කටයුතු කිරීම.