September 20, 2026

වසර 38ක දීර්ඝ සේවා කාලයක් නිමකරමින් විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීමේ විශේෂ හමුවක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පවත්වා ඇත.

අජිත් රෝහණගේ පවුලේ සමීපතයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ඔහු ශ්‍රී ලංකා පොලිස් සේවයට දැක්වූ අනුපමේය දායකත්වය අගයමින් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය උණුසුම් සුභාශිංසන පිරිනමා තිබේ.

1966 සැප්තැම්බර් 11 වැනි දින උපත ලද අජිත් රෝහණ, සිය මූලික අධ්‍යාපනය කනම්පැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් ලබා පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය.

1988 මාර්තු 15 වන දින ආධුනික උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, මුලින්ම තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි ආරම්භ කළේය.

පසුව ලුණුගම්වෙහෙර සහ වදුරඹ යන පොලිස් ස්ථානවල සේවය කරමින් අත්දැකීම් ලැබූ ඔහු, අඟුණුකොළපැලැස්ස සහ වලස්මුල්ල පොලිස් ස්ථානවල ස්ථානාධිපති (OIC) ලෙස කටයුතු කරමින් සිටියදී පොලිස් පරීක්ෂක නිලයට උසස්වීම් ලැබීය.

සිය වෘත්තීය දිවියේ කැපීපෙනෙන සංධිස්ථාන රැසක් සලකුණු කළ අජිත් රෝහණ මහතාගේ ගමන්මඟ:

– 1999: සහකාර පොලිස් අධිකාරී (ASP) නිලයට උසස්වීමේ තරඟ විභාගය සමත් වීම.
– 2005 සහ 2010: පිළිවෙළින් සුඩානයේ සහ හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම.
– 2007: පොලිස් අධිකාරී (SP) නිලයට උසස්වීම් ලැබීම සහ පොලිස් මූලස්ථාන විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම.
– නීති ක්ෂේත්‍රයට පිවිසීම: පොලිස් අධිකාරීවරයෙකු ලෙස රාජකාරි කරන අතරතුර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LL.B) උපාධිය ලබා, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීම.
– 2012, 2016 සහ 2021: පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP), නියෝජ්‍ය පොලිස්පති (DIG) සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) යන උසස් නිලතලවලට පත්වීම.

සිය නායකත්ව හැකියාවන් සහ නීතිමය දැනුම පෙරදැරිව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය ඇතුළු වගකීම්සහගත තනතුරු රැසක් හෙබවූ ඔහු, රාජකාරි කාලය තුළ දැක්වූ සේවය වෙනුවෙන් පදක්කම්, විශේෂ පොලිස්පති ප්‍රශංසා සහ වැටුප් වර්ධක රැසකින් ද පිදුම් ලබා ඇත.