August 9, 2023

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළව තමාගේ යෝජනා ඉදිරිපත් කරන බවත්, ඒවා ඉදිරියට ගෙනයෑමට එකඟ වන්නේද යන්න පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ තම පක්ෂයට සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් බවත්, එම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමාගේ යෝජනා ඉදිරියට ගෙනයෑමට අනෙකුත් දේශපාලන පක්ෂ ඊට සහාය විය යුතු බවත් ය.

රටේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් සහ විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

පෞද්ගලික වාද විවාදවලින් වළකින ලෙසත්, ඒ වෙනුවට රටේ අනාගතය ගැන සිතීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති වික්‍රමසිංහ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.