January 11, 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග්, වසර හතරකට ආසන්න කාලයකට පසු ලබන සතියේ මෙරටින් පිටත්ව යෑමට නියමිතය.

ඇයගේ ධුර කාලය මෑත කාලීන රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ වඩාත්ම ක්‍රියාකාරී හා බලගතු එකක් ලෙස කැපීපෙනේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට ඇදවැටුණු ආකාරය සමාන්තරව, 2022 පෙබරවාරි මාසයේදී පැමිණි චන්ග්, විරෝධතා, දේශපාලන කැළඹීම් සහ ප්‍රතිසාධන උත්සාහයන්ගෙන් යුත් ශ්‍රී ලංකා භූ දර්ශනය හරහා ගමන් කළාය.

ඇයගේ ප්‍රවේශය මගින් ඉහළ මට්ටමේ මැදිහත්වීම්, මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ බිම් මට්ටමේ සම්බන්ධතා මිශ්‍රකළ අතර, බොහෝවිට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති කෙරෙහි එක්සත් ජනපද බලපෑමේ ප්‍රමාණය පිළිබඳ විවාදයක් ඇති කළේය.

සීමාව ඉක්මවා යෑම සම්බන්ධයෙන් විචාරකයන් ඇයට චෝදනා කළ අතර, ස්ථාවරත්වය පෝෂණය කිරීම සහ විදේශීය බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ආධාරකරුවෝ ඇයට ප්‍රශංසා කළහ.

ක්‍රියාකාරී සහභාගීත්වය –

චන්ග්ගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සංලක්ෂිත වූයේ ඇයගේ අසීමිත ප්‍රවේශය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූන්, සිවිල් සමාජය සහ ව්‍යාපාරික නායකයන් සමඟ නිතර හමුවීම් මගිනි.

ආරම්භයේ සිටම, ඇය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක වැනි විපක්ෂ නායකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් හමුවිය.

2022 මැයි මාසයේදී, ආර්ථික අර්බුදය මධ්‍යයේ, තිරසාර වර්ධනයක් අවධාරණය කරමින් ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රතිපත්ති විශේෂඥයන් සමඟ ඇය ප්‍රතිසංස්කරණ සාකච්ඡා කළාය.

ඇගේ හමුවීම් 2024 මැතිවරණයෙන් පසු පත්වූ ජනාධිපති අනුර දිසානායක වැනි චරිත දක්වා විහිදී ගිය අතර, එහිදී ඇය සමුද්‍රීය සහයෝගීතාව සහ ආර්ථික ප්‍රමුඛතා වෙනුවෙන් පෙනීසිටියාය.

මෙම නිදහස ප්‍රතිපත්ති සංවාදවලට සෘජුවම බලපෑම් කිරීමට ඇයට ඉඩ සැලසීය.

උදාහරණයක් ලෙස, 2023 දී, ඇය මැතිවරණ කොමිසම සමඟ සම්බන්ධ වූ විට, මැතිවරණ ක්‍රියාවලියට මැදිහත්වීම් කෙරෙහි ඇයට විවේචන එල්ල විය.

2025 දෙසැම්බර් මාසයේදී, ඇය විද්‍යා හා තාක්ෂණ උපදේශක හමුවී AI සහ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාව එක්සත් ජනපද තාක්ෂණික ආයෝජන සඳහා පෙළඹවූවාය.

ඇයගේ ප්‍රවේශය වඩාත් සංයමයෙන් යුත් පූර්වගාමීන්ට වඩා වෙනස් වූ අතර, එක්සත් ජනපදය සහ අනෙකුත් ණයහිමියන්ගේ සහතික මධ්‍යයේ ශ්‍රී ලංකාව අනුගමනය කළ IMF ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වැනි එක්සත් ජනපද අවශ්‍යතා වෙනුවෙන් පෙනීසිටීමට ඇයට හැකිවිය.

අරගලයේ මැදිහත්වීම –

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් 2022 වසරේ දී ඇති වූ අරගලය චන්ග්ගේ මුල් කාලීන මැදිහත්වීම සනිටුහන් කළේය.

ඇය 2022 අප්‍රේල් මාසයේදී ‘ශ්‍රී ලාංකිකයන්ට සාමකාමීව විරෝධතා දැක්වීමට අයිතියක් ඇත’ යනුවෙන් ට්වීට් සටහනක් තබමින් සමාජ මාධ්‍ය හරහා සාමකාමී විරෝධතා සඳහා ප්‍රසිද්ධියේ සහාය දැක්වූවාය.

ගෝඨාභයට එල්ල කළ ඇගේ පීඩනය, රාජපක්ෂ පාලනය නෙරපාහැරීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වූ අතර, දැඩි මර්දනය වැළැක්වීමට උපකාරී වූ බව මූලාශ්‍රවලින් පෙනීයයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එක්සත් ජනපද ඉල්ලීම් සමඟ සමපාත වෙමින්, අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චන්ග් 2022 මැයි මාසයේදී අනුර කුමාර දිසානායක හමුවූවාය.

මානව හිමිකම් ප්‍රමිතීන් පිළිපැදීමට බලකරමින්, 2022 අගෝස්තු මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හෙළාදැකීම දක්වා ඇගේ මැදිහත්වීම දිගු විය.

මෙය එක්සත් ජනපදය එවක නිදහසේ ආරක්ෂකයකු ලෙස ස්ථානගත කරමින් රජයේ ප්‍රතිචාරයට බලපෑම් කළ අතර, පසුව බලයට පත් වූ ජාතික ජන වේගයේ වැනි නැගී එන සන්ධාන සමඟ සබඳතා වර්ධනය කළේය.

එක්සත් ජනපද විරෝධී හැඟීම් උදාසීන කිරීම –

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුගයේ එක්සත් ජනපද මැදිහත්වීම් පිළිබඳ සංජානනයෙන් පෝෂණය වූ ඇමරිකානු විරෝධී හැඟීම්, චන්ග් පැමිණි විට ප්‍රචලිත විය.

අත්හිටුවන ලද ඇමෙරිකානු සහාය පිළිබඳ සංකල්ප දුරුකරමින් 2022 දී, එක්සත් ජනපදය මානුෂීය ආධාර සඳහා ඩොලර් මිලියන 20ක්, පෞද්ගලික වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 150ක් සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඩොලර් මිලියන 80ක් ලබාදුන්නේය.

චන්ග් ජනමාධ්‍ය තුළින් මේවා ඉස්මතු කළේ ආධිපත්‍යයට වඩා හවුල්කාරිත්වය අවධාරණය කරමිනි.

2024 දී නැවත පැමිණි සාම බලකාය සහ අධ්‍යාපනික වැඩසටහන් වැනි මුලපිරීම් මගින් 2026 වන විට එවැනි හැඟීම් මෘදුකර තිබිණි.

2025 දෙසැම්බර් මාසයේදී දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ ආධාර සහ ගුවන් ප්‍රවාහනය සඳහා ඩොලර් මිලියන 2ක් ඇතුළුව ඇයගේ දැක්වූ ප්‍රතිචාරය, එක්සත් ජනපද ප්‍රතිරූපයට උපකාරී විය.

සත්‍යවාදී ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීම සඳහා 2022 දී ඩිජිටල් නිර්මාණකරුවන් හමුවෙමින් චන්ග් දුස් තොරතුරු ද ආමන්ත්‍රණය කළාය.

මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ දුෂ්කර කටයුත්ත –

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය කිරීම සඳහා රුසියා -ඉන්දියා ඒකාබද්ධ ව්‍යාපාරයක් අවලංගු කිරීමේදී චන්ග්ගේ බලපෑම පැහැදිලි විය.

පෙර රජය යටතේ යෝජනා කරන ලද, ඉන්දියාවේ ෂෞර්යා එරෝනොටික්ස් සහ රුසියාවේ රීජනල් එයාර්පෝට් සමඟ ඇතිකරගත් ගිවිසුම, නීතිමය බාධක සහ සම්බාධක මධ්‍යයේ රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද කණස්සල්ලට මුහුණදුන්නේය.

විචාරකයන් චෝදනා කරන්නේ, චන්ග් රුසියාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ‘ඉගැන්වූ’ අතර මොස්කව් සහ බීජිං සමඟ සබඳතා දුර්වල කළ බවයි.

2025 දී ජාතික ජන බලවේග නව පාලනය එම ගිවිසුම අවලංගු කළ අතර, විකල්ප ගවේෂණය කරමින්, උපායමාර්ගික යටිතල පහසුකම් වෙනුවෙන් රුසියානු නොවන හවුල්කාරිත්වයන් සඳහා එක්සත් ජනපද මනාපයන් සමඟ පෙළගැසිණි.

විවේචන –

2022 ජූලි මාසයේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ඇය කළ විවේචනයට එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් චන්ග්ට ප්‍රතිප්‍රහාර එල්ල විය.

කැපිටල් හි කෝලාහලය වැනි එක්සත් ජනපද සිදුවීම්වලට සමාන කරමින් ඇය ප්‍රචණ්ඩත්වය හෙළාදුටුවාය.

රාජ්‍යතාන්ත්‍රික පක්ෂග්‍රහීත්වය ගැන චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහ ඇයට ප්‍රකාශ කළේ “ඔබේ[රටේ] ඉතිහාසය කියවලා බලන්න” යනුවෙනි.

එමගින් ආතතීන් ඉස්මතු වූ අතර චන්ග් සාමකාමී විරෝධතා සඳහා ඇති අයිතිවාසිකම් අවධාරණය කරද්දී රනිල් වික්‍රමසිංහ එක්සත් ජනපද ආරක්ෂක පියවරයන්ට සමාන උපක්‍රම අනුගමනය කළේය.

බිම් මට්ටමේ සහභාගීත්වය –

චන්ග්ගේ සම්බන්ධතාව ප්‍රජාවන් තුළට ගැඹුරින් ව්‍යාප්ත විය.

ඇයගේ පූර්වගාමීන් කිසිදා නොගිය ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවලට ඇය ගිය අතර විවිධ අදහස්වලට සවන්දුන්නාය.

ශ්‍රී ලංකාවේදී, ඇය තරුණ දකුණු ආසියානු නායකත්ව මුලපිරීම සහ ඉංග්‍රීසි වැඩසටහන් වැනි දෑ හරහා තරුණයන් සම්බන්ධ කරගත්තාය.

2024 දී සියලු ප්‍රජාවන් ඇතුළත් කිරීම සඳහා සංවිධාන කරන ලද කාන්තා සමුළුව වැනි වැඩසටහන්වලට සහභාගීවීමෙන් ප්‍රාදේශීය නායකයන් සවිබල ගැන්වුවාය.

සුළි කුණාටුවෙන් පසු, ඇය ගුවන් හමුදාව සමඟ ආධාර බෙදාදුන් අතර, එය ප්‍රායෝගික සහයෝගය සංකේතවත් කළේය.

මෙමගින් ප්‍රාදේශීය මට්ටමින් ඇමරිකානු විශ්වාසය ගොඩනඟා ගැනිණි.

ප්‍රේමයේ ප්‍රකාශන –

චන්ග් නිතරම ශ්‍රී ලංකාව කෙරෙහි සෙනෙහස ප්‍රකාශ කළ අතර, මෙරට ජනතාව මෙන් බෑගයක් පිටේ එල්ලාගෙන ශ්‍රී පාද කඳු මුදුනට නැඟ එහි ආධ්‍යාත්මික ගුණය ප්‍රශංසා කළාය.

ඇගේ සමුගැනීමේදී, ඇය ප්‍රකාශ කළේ, “මම ශ්‍රී ලංකාවේ ගතකළ සෑම මොහොතකටම ආදරෙයි” යනුවෙනි.

ඇයගේ වඩාත්ම සංකේතාත්මක ක්‍රියාව වූයේ 2025 දී ඇය තම පාදයේ ශ්‍රී ලංකාවේ සිතියම පච්ච කොටා ගැනීමයි.

එය විවාදයක් ඇති කළ නමුත් ඇගේ බැඳීම අවධාරණය කෙරිණි.

ඇය ලතා වල්පොල වැනි චරිතවලට ගෞරව කළ අතර දෙරට අතර, සබඳතාවල 75 වැනි සංවත්සරය වැනි සන්ධිස්ථාන සැමරුවාය.

එක්සත් ජනපද ආඛ්‍යානය නැවත සකස් කිරීම –

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකභාවය මානුෂීය කිරීම සඳහා චන්ග් දක්ෂ ලෙස X සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කළ අතර, අනුගාමිකයන් 100,000කට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ගත්තාය.

ඇය 2022 දී අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ඩොලර් මිලියන 6ක් වැනි ආධාර ප්‍රකාශ කළ අතර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළාය.

අරගලයේ දී අගේ ට්වීට් සටහන් ප්‍රජාතන්ත්‍රවාදයට සහාය වූ අතර, සුළි කුණාටුව පිළිබඳ යාවත්කාලීන කිරීම් මගින් හවුල්කාරිත්වය ඉස්මතු කළේය.

බලපෑම් කරන්නන් සම්බන්ධ කර ගැනීමෙන් සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනිසි භාවිතය හෙළාදැකීමෙන්, ඇය ‘මැදිහත්වීමේ’ සිට ‘සහාය’ දක්වා සංජානනය මාරුකළාය.

2026 දී එක්සත් ජනපද හෙලිකොප්ටර් සහ තාක්ෂණික ආධාර පිළිබඳ ඇගේ සටහන් සහයෝගීතාව අවධාරණය කළේය.

චන්ග්ගේ පිටවීම පරිවර්තනීය යුගයක අවසානය සනිටුහන් කරයි.

ඇයගේ මැදිහත්වීම් අර්බුද මධ්‍යයේ ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට උපකාරී වූ නමුත් ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්න මතුකළේය.

ඇය පිටත්ව යන විට, ඇගේ උත්සාහයන් මගින් ශක්තිමත් වූ එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය බහුධ්‍රැව ඉන්දු-පැසිෆික් කලාපයක නව අභියෝගවලට මුහුණදෙයි.

economynext.com ඇසුරිනි