September 1, 2026

ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ අද්විතීය ජෛව විවිධත්වයකින් හෙබි ලෝක උරුම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගනිමින්, එහි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම අරමුණු කරගත් විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සහ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහ හෝර්ටන් තැන්න උද්‍යාන භාරකරු ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීහු එක්ව සිටියහ.

මෙහිදී හෝර්ටන් තැන්න පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය සහ නරඹන්නන් කළමනාකරණය කිරීම සඳහා පට්ටිපොළ සිට හෝර්ටන් තැන්න දක්වා වන මාර්ගයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයට ඇතුළු වන ස්ථානයට (පට්ටිපොළ දුම්රිය ස්ථානය පසුකර ආසන්න ප්‍රදේශයට) ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුන්ටරය ගෙන ඒමට රැගෙන ඒමට යෝජනා විය.

වනජීවී සහ වන සංරක්ෂණ කලාප තුළ සිදුවන නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම්, කැලිකසල බැහැර කිරීම්, ශබ්ද දූෂණය සහ සතුන් දඩයම් කිරීම් වැනි හානි පාලනය කර පෙන්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාස 6ක පරිවාස නිරීක්ෂණ කාලයක් ලබා දෙන ලදී.

ඒ අනුව ඉදිරි මාස 6 තුළ එම කලාපවල සිදුවන පරිසර හානි සාර්ථකව පාලනය කිරීමට නොහැකි වුවහොත්, ප්‍රවේශ පත්‍ර කවුන්ටර කඩිනමින් පහළ පිවිසුම් කලාප වෙත ගෙන ගොස් දැඩි මාර්ග සහ පිවිසුම් පාලනයක් ක්‍රියාවට නැංවීමට තීරණය විය.