May 5, 2024

උමා ඔය උමගට ජලය මුදාහැරීමෙන් ලැබෙන ජල පීඩනය හේතුවෙන් නායයෑම්වලට ලක්විය හැකි යැයි කියන ප්‍රදේශයක සිරවී ඇති ජලය මුදාහැරීමට සහ භූ ස්ථායීතාවය සහතික කිරීමට තිරස් කාණු සවි කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආරම්භ කර ඇත.

The Sunday Morning වෙත අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසා ඇත්තේ, තම ආයතනය විසින් සැළකිව යුතු අදාළ ප්‍රදේශයේ භූමි කැළඹීම් හඳුනාගෙන ඇති අතර එම තත්ත්වයට පිළියම් යෙදීමට පියවර ගනිමින් සිටින බවයි.

“මතුපිට පැතිකඩ, ජල මට්ටම් සහ බලපෑමට ලක් වූ ප්‍රදේශ අවබෝධ කර ගැනීම සඳහා අපි භූ භෞතික පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව, ජල පීඩනය සමනය කිරීම සඳහා තාවකාලික පියවරක් ලෙස, අපි සිරවී ඇති ජලය මුදාහැරීම සඳහා තිරස් කාණු ස්ථාපනය කරමින්, භූමියේ ස්ථාවරත්වය සහතික කරනවා.

ඇල්ල-වැල්ලවාය මාර්ගය පහළට බලපෑම් ඇති විය හැකි බිඳවැටීම් වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ඉතා වැදගත් වේ. අපගේ ප්‍රමුඛතාවය වන්නේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ තවදුරටත් හානි වැළැක්වීමයි ”ඔහු පෙන්වාදී ඇත.

තාක්ෂණ ඉංජිනේරුවන්, භූ විද්‍යාඥයන්, පරිසර විශේෂඥයන් ඇතුළු විශේෂඥයන් එම ප්‍රදේශයට පැමිණ සමීක්ෂණයක් සිදුකර ගුවන් ඡායාරූප සහ සිතියම් විශ්ලේෂණය කර එම ප්‍රදේශය පැරණි නාය යෑම් කලාපයක් බව නිගමනය කළ බව ආචාර්ය කරුණාවර්ධන සඳහන් කර තිබේ.

“2019 දී අපි සුළු ඉඩම් අස්ථාවරත්වයක් නිරීක්ෂණය කළ නමුත් 2023 දී අධික වර්ෂාවෙන් පසු මෙම අස්ථාවරත්වය නැවත සක්‍රීය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපි දැන් පුළුල් භූමි කැළඹීම් නිරීක්ෂණය කරනවා. මෙම සංසිද්ධිය සඳහා මූලික සැකය වන්නේ භූගත ජල මට්ටම සහ ජල පීඩනයේ බලපෑමයි. ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ ජල පීඩනයේ සහ මට්ටම්වල වෙනස්වීම් උමා ඔය උමඟ පිරවීමට සම්බන්ධ විය හැකි බවයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.