July 5, 2026

දිවයින පුරා ඩෙංගු උණ රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, මදුරුවන් බෝවන ස්ථාන සොයා සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ වැටළීම් ආරම්භ කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, රජයේ කාර්යාල සහ වැඩපොළවල් පවත්වාගෙන යන පරිශ්‍ර රැසක් නිසි නඩත්තුවකින් තොරව අත්හැර දමා තිබීම හේතුවෙන් ඒවා මදුරුවන් බෝවන ස්ථාන බවට පත්ව ඇති බවයි.

එවැනි තත්ත්වයක පැවති එක් ස්ථානයක් ලෙස හෝමාගම ලංගම බස් ඩිපෝව හඳුනාගෙන තිබේ.

එහිදී ඩිපෝ පරිශ්‍රය තුළ ස්ථාන කිහිපයකම ඩෙංගු මදුරු කීටයන් සිටින බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට නිරීක්ෂණය විය.

මීට පෙර අවස්ථාවලදී ඩිපෝ බලධාරීන්ට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් සහ ‘රතු නිවේදන’ නිකුත් කර තිබුණ ද, ඔවුන් ඒවා නොසලකා හැරීම හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් විසින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පවරන ලද නඩුව සලකා බැලූ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය, අදාළ බස් ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට පියවර ගත්තේය.