May 5, 2025

මහනුවර දළදා මාලිගාවේ වැඩසිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහජනතාව සඳහා වාර්ෂිකව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ, වාර්ෂික දළදා ප්‍රදර්ශනයක් සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුළ කතාබහක් මතුව ඇති පසුබිමක් තුළය.

ශ්‍රී දළදා සමිඳුන්ගේ විශේෂ ප්‍රදර්ශනයක් ඉකුත් අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්විණි.

එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.අබයකෝන් කියාසිටියේ, වාර්ෂිකව දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරන බවයි.

ඒ අනුව, වාර්ෂිකව දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් The Morning කළ විමසීමකදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසා ඇත්තේ, බාහිර පාර්ශ්වයන් විසින් එම අදහස ඉදිරිපත් කළද අවසන් තීරණය අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා සතු බවයි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ, දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් දිනපතා රැස්වුණු බව සහ වන්දනාකරුවන් විශාල පිරිසකගේ පැමිණීම නිසා උද්ගත වූ තත්වය එහිදී සාකච්ඡා කරන අවස්ථාවේදී දළදා ප්‍රදර්ශනය වාර්ෂිකව පැවැත්වීම ගැන සළකාබලන ලෙස මහානායක හිමිවරුන්ගෙන් සහ දියවඩන නිලමේවරයාගෙන් ඉල්ලා සිටීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

කෙසේවෙතත් එය නිල ඉල්ලීමක් නොවන බවත්, සම්ප්‍රදාය වන්නේ රාජ්‍ය නායකයාගේ ඉල්ලීම මත දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම බවත් ඔහු පෙන්වාදුන්නේ ය.

බාහිර පාර්ශ්ව වශයෙන් සිදුකළ හැක්කේ යෝජනා කිරීම පමණක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.