May 1, 2024

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්, ක්‍රිකට් පිත්තෙන් පහරදුන්නේ යැයි කියන සිසුවකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය මොන්ටි ක්‍රිස්ටෝ වත්තේ පහළ කොටසේ ස්ටැන්ලි ස්ටෙෆ් ෆිල් නමැති 13 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර පසුගිය 23 වෙනිදා මොවුන් දෙදෙනා එම වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවේ ක්‍රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එක් අයෙක් අනෙක් සිසුවාට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.

බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිසුවාට පහරදීමට යොදාගත්තේ යැයි කියන ක්‍රිකට් පිත්ත ද නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

නාවලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.(ලංකාදීප)