June 13, 2026

පොළොන්නරුව පැත්තෙන් මරු සූදු පිටියක විස්තරයක් ආරංචි වෙනවා. හැබැයි මේක නිකම්ම නිකම් සූදු පිටියක් නෙවෙයි, පරාද වෙන මිනිස්සුන්ගේ බයික් ටික එතැනදීම උකස් තියාගෙන සල්ලි පොළියට දෙන ‘ෆිනෑන්ස් කම්පැනි’ වගේ වැඩ කරපු අක්කලා-නංගිලා සෙට් එකක් හිටපු තැනක්.

කතාව සිද්ධ වෙලා තියෙන්නේ හිඟුරක්ගොඩ, අක්කර 70 කියන ගම්මානයේ. කාලෙක ඉඳන් තැනින් තැනට මාරුවෙවී, පොලිසියට හොරෙන් කරගෙන ගිය මේ මහාපරිමාණ ‘කැට ගැසීමේ’ සූදු පිටිය ගැන ඔන්න හිඟුරක්ගොඩ පොලිසියේ ලොක්කන්ට ඔත්තුවක් ලැබිලා තියෙනවා.

පොළොන්නරුව සහ හබරණ පොලිස් ලොක්කන්ගේ උපදෙස් පිට හිඟුරක්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොල මහත්තයා ඇතුළු ටීම් එක 10 වැනිදා හවස මේ සූදු පිටිය වටළනකොට එතැන 30කට වඩා වැඩි සෙට් එකක් ‘කැටේ’ කැරකෙන කමල් ඇස් ලොකු කරන් බලාගෙන ඉඳලා තියෙනවා.

පොලිසිය දැක්ක ගමන් බාගෙකට වඩා පිරිසක් කුඹුරු, කැලෑ අස්සෙන් දිව්වත්, 18 දෙනෙක්ව කොටු කරගන්න පොලිසියට පුළුවන් වෙලා. ඒ අතරින් විශේෂම දේ තමයි සූදුවේ නිරත වෙච්ච කාන්තාවන් 6 දෙනෙකුත්, පිරිමි 12 දෙනෙකුත් මේ අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත් වීම. මේ ඔක්කොම හිඟුරක්ගොඩ සහ ඒ අවට ගම්වල පදිංචි අයලු.

සූදුකාරයෝ ළඟ තිබිලා රුපියල් තුන්ලක්ෂ හැත්තෑදහසකුත්, සූදු පිටියේ බිම දාලා තිබුණු රුපියල් දොළොස්දහසකුත් එක්ක මුළු මුදල රුපියල් 3,82,000ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මේ වැටළීමේදී එළියට ආපු ලොකුම රහස තමයි, කැට ගහලා සල්ලි පරාද වෙන මිනිස්සුන්ට එතැනදීම තමන් පැමිණි යතුරුපැදි උකසට තියලා සල්ලි ගන්න, පිටතින් ආපු විශේෂ කාන්තාවන් තිදෙනෙක් සූදු පිටියේ සේවය කරලා තියෙනවා. ඒ කියන්නේ සූදුව දිගටම කරගෙන යන්න අවශ්‍ය ‘ලෝන් පහසුකම්’ එතැනදීම සපයලා තියෙනවා. මරු බිස්නස් එක නේද?

කොහොම වුණත් දැන් ඔන්න අහුවෙච්ච හැමෝටම හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ‘කැටේ’ කැරකෙන්නයි යන්නේ.