May 15, 2025

ආනයනික වාහන සඳහා අඛණ්ඩව ඉහළ මිලක් තිබියදීත් රට තුළ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

පසුගිය මාස තුනක කාලය තුළ මුළු වාහන 5000ක් මෙරටට ගෙන්වා ඇති බවත් ඉන් 3000කට අධික සංඛ්‍යාවක් දැනටමත් අලෙවි වී ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම ප්‍රසාද් මානගේ පවසන්නේ, ආනයනය කරන ලද වාහනවල මිල දැනට ඉහළ මට්ටමක පවතින නමුත් වෙළඳපොලේ නව වාහන සඳහා තවමත් ශක්තිමත් මෙන්ම ස්ථාවර ඉල්ලුමක් පවතින බවයි.

බොහෝ මැදි ආදායම් ලබන්නන් පවා තම හැකියාව අනුව වාහන මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන බව ඔහු පෙන්වාදෙයි.

ප්‍රසාද් මානගේ පවසන්නේ, කිසිදු වාහන කාණ්ඩයක් ආනයනය කිරීම තහනම් නොමැති නමුත් Toyota Aqua සහ Prius වැනි ‍මෝටර් රථ වසර තුනක නිෂ්පාදන දින අවශ්‍යතාවයෙන් බැහැර වන බැවින් සහ ඉහළ බදු වලට යටත් වන බැවින් මෑතකදී ආනයනය නොකළ බවයි.

මේ අතර, නව වාහන සඳහා පාරිභෝගිකයන් දැඩි උනන්දුවක් දක්වන බැවින් දැනට වැඩි හෝ අඩු ඉල්ලුමක් ඇති වාහන මාදිලි හඳුනාගැනීමේ දුෂ්කරතාවයකට ද වාහන ආනයනකරුවන් මුහුණ පා සිටින බව ඔහු පවසයි.

මීට අමතරව, කොළඹ වරායේ සහ හම්බන්තොට වරායේ පවතින නිශ්කාශන ප්‍රමාදයන් හේතුවෙන් ගැනුම්කරුවන් මෙන්ම ආනයනකරුවන් ද අපහසුතාවට පත්ව සිටින බව ද ජනමාධ්‍ය වාර්තා කරයි.

සෑම වරායකම දැනට රාජකාරියේ යෙදීසිටින්නේ නිලධාරීන් හතරදෙනෙකු, පමණක් බැවින් එම සංඛ්‍යාව නිශ්කාශන කටයුතු කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව කර්මාන්තකරුවෝ පවසති.

නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීම සඳහා තවත් නිලධාරීන් යොදවන ලෙස ආනයනකරුවන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

එම ප්‍රමාදයන් සැළකිව යුතු ප්‍රමාද ගාස්තු වලට හේතුවී ඇති අතර එය දරාගැනීමට සිදුවන්නේ පාරිභෝගිකයින්ටය.

හම්බන්තොට වරායේදී වාහන ගැනුම්කරුවන්ට අමතර මූල්‍ය බරක් පටවමින් එකතු කරන ලද හිඟ මුදල්වලින් සියයට 80ක් චීනයට ගෙවිය යුතු බවද ආනයනකරුවෝ පවසති.

වරාය ගබඩාවෙන් වාහනයක් මුදාහැරීමට මේ වනවිට අවම වශයෙන් දින 16ක් ගතවන බව වාර්තා වේ.