July 11, 2026

බණ්ඩාරවෙල, ඇල්ලේතොට ප්‍රදේශයේ සුඛෝපභෝගී ස්පා එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහාපරිමාණ ගණිකා නිවාසයක් වටළා එතැන සිදුවූ අතිශය රහසිගත ජාවාරමක් හෙළිකර ගැනීමට බණ්ඩාරවෙල පොලිසිය සමත්ව තිබෙනවා.

මෙම වැටළීමේදී ස්පා එක පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එතැන තිබී සොයාගත් තොරතුරු නිසා පොලිස් නිලධාරීන් පවා මවිතයට පත්ව තිබෙනවා.

මෙම ස්ථානය පවත්වාගෙන ගිය ජෝඩුව විසින් ස්පා එකේ කාමර ඇතුළත පාරිභෝගිකයන් හැසිරෙන ආකාරය සහ ලිංගික ක්‍රියාකාරකම් රහසිගතව පටිගත කිරීම සඳහා සියුම් රහස් කැමරා සවිකර තිබිලා. එලෙස පටිගත වන දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල ගබඩා කරගෙන, පසුව ඒවා අන්තර්ජාලය හරහා විදේශීය සංවිධාන සහ පුද්ගලයන්ට විශාල මුදලකට (ඩොලර්වලට) විකුණා ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පොලිසිය පවසන්නේ ලිංගික දර්ශන ඉතා පැහැදිලිව මෙම දුරකථනවල සටහන්ව තිබූ බවයි.

මෙම රහස් ගණිකා නිවාසය මෙහෙයවා ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් සහ මිණුවන්ගොඩ ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවක්. ඔවුන් එහි පැමිණෙන පාරිභෝගිකයන්ගෙන්, ඔවුන් තෝරාගන්නා කාන්තාවන්ගේ ඉල්ලුම මත රුපියල් 4,000 සිට රුපියල් 8,000 දක්වා විවිධ මිල ගණන් අයකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් පිරිස අතර ජාඇල, මිණුවන්ගොඩ, මාතලේ සහ වැලිමඩ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 18ත් 40ත් අතර පසුවන තරුණ කාන්තාවන් හතරදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් සිටිනවා.

මෙම ජාවාරම කොටුකර ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ උගුලක් අටවා තිබුණා. එහිදී පොලිස් ඔත්තුකරුවෙක් පාරිභෝගිකයෙක් ලෙස වෙස්වලාගෙන මෙම ස්ථානයට ඇතුළු වී සේවාවන් ලබාගන්නා මුවාවෙන් වැටළීම සිදුකර තිබෙනවා.

ජංගම දුරකථන සියල්ලම මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒවායේ ඇති වීඩියෝ සහ දත්ත ලබාගැනීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පවතීදැයි පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කර තිබෙනවා.

(Daily Mirror)