August 27, 2026

හෙට දිනයේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8ක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම අනතුරු ඇඟවීම ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චිය, මොණරාගල සහ යාපනය යන දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වේ.

අදාළ දිස්ත්‍රික්කවල පදිංචි ජනතාව අධික උෂ්ණත්වය හේතුවෙන් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලුවලින් බේරීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඊයේ දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 36.7ක් විය.

ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4ක් ලෙසත්, පොළොන්නරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් ලෙසත් සටහන් විය.

මේ අතර, හෙට දිනයේ සිට ලබන මස 7වැනිදා දක්වා හිරු ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෙට දහවල් 12:11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට සූර්යයා ඍජුවම ඉහළින් මුදුන් වීමට නියමිතය.

දැනට නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට වියලි කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අද උදෑසන 8:30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහි අගය මිලිමීටර් 43.5කි.