
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ දී තමන්ව ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ විරෝධතාවලට අදාළ සිදුවීම් විස්තර කෙරෙන සිය නව කෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද එළිදැක්වීය.
‘කුමන්ත්‍රණය’ නම් වූ සිය කෘතියෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලදී තමන් විඳි කටුක අත්දැකීම්, විශේෂයෙන්ම කොළඹ ජනාධිපති මන්දිරයට කඩා වැදීම, ඔහු ඉවත් කිරීම සහ ආර්ථික අර්බුදය විසඳීමට සහ රට යථා තත්ත්වයට පත් කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග හෙළි කරයි.
විරෝධතාකරුවන් කොළඹ ජනාධිපති මන්දිරය අත්පත් කරගත් දිනයේ තොරතුරු හෙළි කරමින් ගෝඨාභය රාජපක්ෂ මෙසේ කියයි.
“2022 ජූලි 8 වැනි දින, මම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන්නේ, ආරක්ෂක හමුදා මූලස්ථානයේ සිට ජනාධිපති මන්දිරයට මෙහෙයුම් මැදිරිය ගෙන යන ලෙසයි. 2022 මැයි 9 වැනි දින රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා ඉවත් කිරීම සඳහා භට පිරිස් ගෙන්වා ගැනීමේදී සිදු වූ අසීමිත සහ සමාව දිය නොහැකි ප්‍රමාදය පිළිබඳ වූ නරක අත්දැකීම නිසා සියලුම ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපති මන්දිරයට ගෙන්වා ගැනීමට මම පියවර ගත්තෙමි. 2022 ජූලි 9 වැනි දින උදෑසන 8.00ට බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ලදී.”
“උදෑසන 10.30ට පමණ ආරක්ෂක ලේකම්වරයා සහ සේවා ප්‍රධානීන් මට කිව්වා මම වහාම එම පරිශ්‍රයෙන් පිටවිය යුතු බව. ජනාධිපති මන්දිරය අසලට මැර පිරිස එක්රැස් වීමට පටන් ගෙන පැයක්වත් ගත වී තිබුණේ නැත. මීට පෙර මගේ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් මට පවසා තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස යම් යම් දේවල් අසුරා තබා ගන්නා ලෙසයි. ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදියෙන් සමන්විත ගමන් මලු දෙකක් අපි සකස් කර ගෙන තිබුණා. අපි ගමන් මලු රැගෙන පහළ මාලයට ආවේ අපේ වාහනවලට ගොඩ වෙන්න. සෙනඟ ඉදිරිපස ගේට්ටුව කඩාගෙන ආවා. මෙය සිදුවන විට බැසිලුත් ජනාධිපති මන්දිරයේ සිටි අතර ඔහුත් අපේ වාහනයට නැග්ගා. පිටුපස පිටවීමේ දොරටුවෙන් අපි අසල පිහිටි නාවික හමුදා කඳවුරට ගියේ නාවික හමුදාපතිවරයා අපිව ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු එහි සූදානම් කර තිබූ නිසයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
තමා ඉවත් කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් වරායේ යාත්‍රා දෙකක් සීරුවෙන් තබා තිබූ බවත්, ඔවුන් එක් යාත්‍රාවක් භාවිත කර අනෙක් යාත්‍රාව ප්‍රතිවිරුද්ධ දිශාවට යැවූ බවත්, ඔවුන් ගමන් කරන්නේ කුමන ප්‍රදේශයට ද යන්න කිසිවකුටත් නොදැනෙන පරිදි යැවූ බවත් හිටපු ජනාධිපතිවරයා අනාවරණ කර තිබේ.
“කොළඹ වරායෙන් පිටත් වෙලා අපි ත්‍රිකුණාමලයට ගිහින් නාවික හමුදා කඳවුරේ රාත්‍රිය ගත කරලා පහුවදා මම හෙලිකොප්ටරයකින් කොළඹ ඇවිත් කටුනායක ගුවන් හමුදා කඳවුරට ඇවිත් දෙවැනි රාත්‍රිය එහි ගත කළා. පසුදා රාත්‍රියේ මම ගුවන් හමුදා ගුවන් යානයකින් මාලදිවයිනට පියාසර කර 2022 ජූලි 12 වැනි දින අලුයම 3.00ට පමණ මාලේ වෙත ළඟා වුණා. මාලේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි දූපත් නිවාඩු නිකේතනයක මාලදිවයින් රජය මට නවාතැන් දීමට කටයුතු කර තිබූ අතර අපි බෝට්ටුවෙන් හෝටලයට ළඟා වන විට උදෑසන වී තිබුණා. පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා යෑමට සැලසුම් කර තිබුණත් ඉන්දීය බලධාරීන් මෙම පෞද්ගලික ගුවන් යානයට මාලේ බලා යෑමට අවසර දී තිබුණේ නැහැ. ඉතින් මම උපදෙස් දුන්නා සිංගප්පූරුවට යන වාණිජ ගුවන් යානයකින් ටිකට් ගන්න කියලා. ඒ අනුව මම සෞදි ගුවන් සේවයේ ගුවන් යානයකින් සිංගප්පූරුවට ගියා. මාලදිවයින් රජය මට හෝටලයේ සිට ගුවන් තොටුපළට යෑමටත් ගුවන් යානයෙන් සිංගප්පූරුවට යෑමටත් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණා. මා සමඟ මගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ද පැමිණ සිටියා. මාලදිවයිනේ සිටියදී මම රටින් බැහැරව සිටි නිසා අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කළා.
“සිංගප්පූරුවේදී, මාව ගුවන් තොටුපළේදී පිළිගෙන හෝටලයකට ගෙන ගියා, එහිදී මා නවාතැන් ගන්නා තට්ටුවේ ආරක්ෂාව සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණා. සිංගප්පූරුවට පැමිණි පසු මම කථානායක මහින්ද යාපා අබේවර්ධනට දන්වා සිටියේ දේශපාලන පක්ෂ නායකයන් මගෙන් කළ ඉල්ලීමට ගරු කරමින් ඉදිරි දින කිහිපයේදී මම ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව. රටේ නීතිය හා සාමය ඇති කරන්න පුළුවන් එකම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මා දුටු නිසා අගමැතිතුමාට ජනාධිපති පදවිය භාර දෙන්න මම මේ වෙනකොට හිත හදාගෙන හිටියේ.”
“නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කළහොත් ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිමය ඉබේම ලැබෙනවා. 2022 ජුලි 13 වැනි දින පැවති දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමේදී තීරණය කර තිබුණේ මැර පිරිස සනසා පවතින තත්ත්වය සමනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ද සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට. කෙසේවෙතත් අගමැති වික්‍රමසිංහ ඉල්ලා අස් වූයේ නැහැ. ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ නව රජයක් බලයට පත්වන තුරු තමන් සිය ධුරයේ රැඳී සිටින බව. 2022 ජුලි 14 වැනිදා මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කළා,” යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
කලහකාරී පිරිස ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමන්ට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපියක් යොමු කළ බව ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් අනාවරණ කර තිබේ.
“ලිපියේ අත්සන් කරලා තිබුණේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක්. ඒ අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබුණා. පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට ගරු කරන බව මම අගමැතිවරයාට දැනුම් දුන්නා. මා ජනාධිපති මන්දිරයෙන් නික්මයෑම බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර සහ ධම්මික පෙරේරා යන ඇමැතිවරුන් ඔවුන්ගේ කැබිනට් ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීමට හේතු වී තිබුණා.” ලෙස ද ඔහු සඳහන් කර තිබේ.
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පිළිබඳ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධීපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය සහ අගමැතිවරයාගේ නිල නිවස මැරයන් විසින් කඩිනමින් අත්පත් කරගත් බවයි.
“අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස මැර කල්ලි විසින් ගිනිබත් කළා. මම අවුරුදු දෙකයි මාස නවයක් වගේ කාලයක් ලංකාවේ ජනාධිපති වෙලා හිටියා. මේ කාල සීමාවේ අවුරුදු දෙකයි මාස පහක් මම ජීවත් වුණේ මගේ පෞද්ගලික නිවසේ. 2022 මාර්තු 31 වැනි දින රාත්‍රියේ මගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණය නිසා මට වැඩි ආරක්ෂාවක් සඳහා ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑමට සිදු වුණා. නායකයන් වෙනසක් ඇති කිරීමට උත්සාහ කරන විට, මහජනතාව එයට සහාය දුන්නේ නැති වුණොත් සියල්ල ආපසු හැරෙනවා. 2022 වුණු සිදුවීම්වලින් පසු, කිසිදු නායකයකු ජනාධිපති, අගමැති හෝ ඇමති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔවුන්ගේ පෞද්ගලික නිවාසවල දිගටම ජීවත් වෙන එකක් නැහැ” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය මුල් කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වීමට නියමිතව තිබුණ ද 2022 ජුලි 9 වැනිදා හෝ ඉන් පසු දින කිහිපයේ මෙම භාණ්ඩ බොහොමයක් කොළඹට පැමිණීමට නියමිතව තිබූ බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
“ප්‍රමාද වූ LP ගෑස් මෙට්‍රික් ටොන් 3700කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් අවසානයේ ජූලි 9 වැනිදා කොළඹට ළඟා වුණා. ඉන්දීය ණය යටතේ මිලදී ගත් පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාවක් ද ජූලි 9 වැනිදා කොළඹට පැමිණියා. ජූලි 10 වැනි දින තවත් ගෑස් තොගයක් පැමිණියා. 2022 ජූලි 9 වැනි දින උදෑසන ආරක්ෂක ලේකම්, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ SIS අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කර තිබූ මෙහෙයුම් මැදිරියට පැමිණ සිටියා. සියලු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් විරෝධතාකරුවන් කොළඹට පැමිණීම වැළැක්වීමයි සැලසුම වුණේ . නමුත් එවැනි මාර්ග බාධක කිසිවක් ස්ථාපිත කර නොතිබූ බවත් ඒ නුව විරුද්ධවාදීන් නොව ජන සමුහයක් පවා ජනාධිපති මන්දිරයට එකතු වුණා, ” යනුවෙන් ඔහු සිය නව කෘතියෙන් හෙළිකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart