August 17, 2023

ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා අධ්‍යක්ෂ වැන්ග් යී පසුගියදා සඳහන් කර ඇත.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි හත්වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති හමුවකදී ඔහු මෙසේ පවසා ඇත.

චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසනීය උපායමාර්ගික හවුල්කරුවා වන අතර, ශ්‍රී ලංකාව සැමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවත්, චීනයේ මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ ශ්‍රී ලංකාව සිට ඇති බව අගය කරන බවත්, ඔහු සඳහන් කර තිබේ.

චීනය ද ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි ලෙස සහාය දෙන අතර, ශ්‍රී ලංකාව සමඟ පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවද හෙතෙම පවසා ඇත.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, “දරිද්‍රතා උගුලෙන්” සහ “නොදියුණුවීමේ උගුලෙන්” මිදීමටත්, එහි කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බව වැන්ග් යී පවසා තිබේ.

ශ්‍රී ලංකාව සිය තාවකාලික දුෂ්කරතා ජයගෙන, ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගමන් ගන්නා බවටත්, පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවටත්, ඔහු විශ්වාසය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ වැදගත් සහභාගිවන්නෙක් සහ ප්‍රතිලාභියෙක් බව සඳහන් කළ ඔහු, චීන වෙළඳපොළ තවදුරටත් ගවේෂණය කිරීම සඳහා මෙම වැදගත් වේදිකාව දිගටම භාවිත කරන ලෙස සාදරයෙන් පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ලබා දෙන සහයෝගය මෙන්ම දුෂ්කර කාලවලදී කාලෝචිත හා ඵලදායී ලෙස ලබාදෙන සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අගමැතිවරයා මෙහිදී චීනයට ස්තූති කර තිබේ.