February 24, 2026

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, මෙරට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් මට්ටමින් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

මෙම කාරණයට පුළුල් මහජන සංවාදයක් අවශ්‍ය වන අතර එය කැබිනට් මණ්ඩලයට පමණක් තීරණය කළ නොහැකි බව ද ඔහු පැවසීය.

කිසියම් තීරණයකට එළඹීමට පෙර, මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල අපරාධ අනුපාත අඩු වී තිබේද නැතහොත් වැඩි වී තිබේද යන්න මෙන්ම ක්ෂණික හා දිගුකාලීන බලපෑම් තක්සේරු කිරීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ඕනෑම රජයක් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට පෙර මෙම ගැටළුව සමාජ විද්‍යාත්මක, මානසික සහ අපරාධ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයන්ගෙන් විශ්ලේෂණය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.