April 3, 2026

රඳවා තබාගැනීමේ නියෝග මත (Detention Order) රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ උපන්දින සාදයක් කොළඹ අපරාධ කොට්ඨාසය තුළ පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) භාර දී තිබේ.

ඒ, පොලිස්පතිවරයාගේ නියමයකට අනුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගනේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය, මේ වන විට රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තබා ප්‍රශ්න කරමින් සිටියි.

අදාළ සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සාදයක් පැවැත්වීමට කේක් රැගෙන ආ බව හෙළි වීමත් සමඟ, එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ.