July 19, 2026

පාකිස්තාන තොරතුරු ඇමති අතාවුල්ලා තරාර් ගමන් කරමින් සිටි මෝටර් රථය ආසන්නයේ ධාවනය වූ වෙනත් වාහනයක සිට ගිනිඅවියකින් වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු ලාහෝර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවලට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී මෙය ඇමතිවරයා ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයක් නොවන බවට අනාවරණය වී ඇතැයි බලධාරීහු පවසති.

ඇමතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ ගමන් කරමින් සිටියදී ලාහෝර්හි ‘ඩිෆෙන්ස් A’ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර, අදාළ සැකකරුට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර තිබේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු සිදුකෙරෙමින් පවතී.

සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඇමති තරාර් සඳහන් කර ඇත්තේ, වෙනත් වාහනයක් සිය රථය පසුකර ඉදිරියට පැමිණි බවත්, එහි සිටි පුද්ගලයෙකු පිස්තෝලයක් පෙන්වමින් අහසට වෙඩි තැබූ බවත්ය.

සිද්ධියෙන් සුළු මොහොතකට පසු ‘ඔසාමා’ නමැති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර, වෙඩි තැබීමට යොදාගත් ගිනිඅවිය සහ ඔහු ගමන් කළ වාහනය ද පොලිස් භාරයට ගෙන ඇත.