August 21, 2026

පසුගිය මාර්තු 1 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වූ මාස හතරකට ආසන්න කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවල් විසින් පාකිස්තාන ජාතිකයන් 20,000කට අධික සංඛ්‍යාවක් ආපසු හරවා යවා ඇති බව පාකිස්තාන ජාතික සභාවට ඉදිරිපත් කළ නිල වාර්තාවල දැක්වේ.

ආරක්ෂක ගැටලු මෙන්ම වීසා සහ නීති විරෝධී කටයුතු හේතුවෙන් මෙලෙස පිටුවහල් කළ පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ සවුදි අරාබියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනි.

මතද්‍රව්‍ය පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද දත්තවලට අනුව, සවුදි අරාබිය මගින් පමණක් පාකිස්තානුවන් 15,500ක් පිටුවහල් කර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මගින් පිටුවහල් කර ඇති සංඛ්‍යාව 3,803කි. මීට අමතරව ඕමානයෙන් 1,606ක්, බහරේනයෙන් 521ක්, කටාර් රාජ්‍යයෙන් 429ක් සහ කුවේටයෙන් 97 දෙනෙකු ආපසු එවා තිබේ.

නීති විරෝධී ලෙස රට තුළට ඇතුළු වීම, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම, හිඟමන් යැදීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, ව්‍යාජ ලේඛන භාවිතය සහ නොයෙකුත් ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගෙන ඇත. මෙසේ පිටුවහල් කළ පිරිස අතර නීතියෙන් බේරී සැඟවී සිටි තැනැත්තන් 4,628ක් සහ බන්ධනාගාරගත කර සිටි 1,294 දෙනෙකුද සිටින බව සඳහන් වේ.

එසේම තවත් 968 දෙනෙකු අසාදු ලේඛන ගත කර ඇති අතර, ගමන් බලපත්‍ර අහිමි වූ 1,155 දෙනෙකුද ආපසු එවා ඇත. වීසා කොන්දේසි කඩකිරීම් නිසා 689 දෙනෙකුට සහ රට තුළට ඇතුළු වීමට අවසර නොලැබීම නිසා 342 දෙනෙකුට නැවත හරවා යාමට සිදු වී තිබේ. පැහැදිලි වර්ගීකරණයක් නොමැති වෙනත් විවිධ හේතූන් මත පිටුවහල් කළ සංඛ්‍යාව 6,000කට අධිකය.