October 8, 2025

රජය විසින් මෙහෙයවන ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ, සංචාරකයන් සමඟ කටයුතු කිරීමේදී, ආචාරධර්ම වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් එක්දින පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම එක්දින පුහුණුව අද කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම පියවර ගෙන ඇත්තේ ටුක්-ටුක් රියැදුරන් ලෙස පොදුවේ හඳුන්වන මෙරට ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ඇතැමකුගේ හැසිරීම් රටේ සංචාරක ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපාන බවට අනාවරණ වී ඇති පසුබිමක් තුළය.

විශේෂයෙන් කොළඹ, මහනුවර, ගාල්ල සහ ඇල්ල වැනි ජනප්‍රිය සංචාරක ප්‍රදේශවල සිටින ටුක්-ටුක් රියදුරන්ගේ අධික ගාස්තු අයකිරීම, හිරිහැර කිරීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ වෘත්තීයභාවය නොමැතිකම වැනි සිදුවීම් රැසක් පිළිබඳව සංචාරකයන් චෝදනා එල්ල කර තිබේ.

මෙම අත්දැකීම් බොහෝවිට කල් පවතින නිෂේධාත්මක හැඟීමක් ඇතිකරන අතර, ශ්‍රී ලංකාව ආරක්ෂිත සහ ආගන්තුක සත්කාරයට ලැදි ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයන් අඩපණ කරන බව රජය පවසයි.

රජය මීටර ගාස්තු පද්ධති හඳුන්වාදීමට, බලපත්‍ර නියාමනය කිරීමට සහ සංචාරක හිතකාමී පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළද, ඒවා ක්‍රියාවට නැංවීම පවතින්නේ දුර්වල මට්ටමකය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, රියදුරන් සුළු පිරිසකගේ සදාචාර විරෝධී ක්‍රියා සමස්ත අංශයේ කීර්තිනාමයට කැළලක් ඇති කරමින්, මෙරටට නැවත පැමිණෙන සංචාරකයන් අධෛර්යමත් කරමින් සහ අන්තර්ජාතික සංචාරක වේදිකාවල ශ්‍රී ලංකාවට විවේචන එල්ලවීමට හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකාවේ මිලියනයකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාව ධාවනයේ ඇති අතර, ඒවා දිගු කලක් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ජාලයේ අනිවාර්ය අංගයක් වී තිබේ.