July 14, 2026

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ ඉල්ලීමකට අනුව වත්මන් යුද හමුදාපතිවරයාගේ සේවා කාලය 2028 ජනවාරි දක්වා දීර්ඝ කිරීමට රජය සූදානම් වන කුමන්ත්‍රණකාරී පියවරක් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක චෝදනා කරයි.

“වත්මන් යුද හමුදාපතිවරයාගේ සේවා කාලය 2026 ජූලි 2 වැනිදායින් අවසන් වුණා. ඔහුගේ සේවා කාලය 2028 ජනවාරි දක්වා තවත් දීර්ඝ කිරීමට පියවරක් ගනිමින් පවතිනවා. වත්මන් හමුදාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමේදී නිලන්ත ප්‍රේමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසකගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරෙනවා. 2028 දී වත්මන් හමුදාපතිවරයාගෙන් පසුව ධුරය භාර ගන්නේ ‘ප්‍රනාන්දු’ යන වාසගම ඇති පුද්ගලයෙක්. මේ සියල්ල සිදුකරන්නේ කාදිනල් රංජිත්තුමාගේ ඉල්ලීම මතයි” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා පැවසීය.

“රජයේ ඉන්න අය මාස තුනකට වරක් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් හමුවෙනවා. නමුත් පත්වීම් සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ කාදිනල්තුමා වගෙයි පෙනෙන්නේ. හමුදාපති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වැනි තනතුරුවලට පත්කරන්නේ කවුද කියා තීරණය කරන්නේ කාදිනල්තුමායි. ලංකාවේ කාදිනල්තුමා පාප්වහන්සේ බවට පත් නොවීම හොඳක්. මැල්කම් රංජිත් කාදිනල්තුමා පාප්වහන්සේ ලෙස තේරී පත්වුණා නම් ශ්‍රී ලංකාව තවත් වතිකානුවක් වෙනවා” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කතෝලික සභාවට තවදුරටත් පහරදෙමින් චාමර සම්පත් චෝදනා කරන්නේ, මෑතකදී මඩකලපුව ප්‍රදේශයේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතනයක කතෝලික පූජකවරුන් පිරිසක් නැවතී සුඛෝපභෝගී ලෙස විනෝද වී ඇති බවයි.

ශ්‍රී ලාංකිකයන් බත් වැඩිපුර පරිභෝජනය කරන බවට ප්‍රකාශ කළ බව කියන ලාල්කාන්ත අමාත්‍යවරයාද මන්ත්‍රී චාමර සම්පත්ගේ දැඩි විවේචනයට ලක්විය. “මම ඇමැතිවරයාගෙන් අහන්න කැමතියි බත් වෙනුවට අපි මොනවාද කන්න ඕනේ කියලා,” ඔහු උපහාසාත්මකව පැවසීය.