May 4, 2024

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී ඊයේ (04) පෙරවරුවේ එක්වෙමිනි.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක්විඳීමට ඉඩතැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම්ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය.

මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වාදුන්නේය.

සියලුදෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කරදීමට එක්වන්නැයි ද සියලු පාර්ශ්වවලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු 204,002 සකස් කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට සියලුම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතී.

ඒ අනුව මැයි මාසය අවසන්වන විට සින්නක්කර ඔප්පු 20,178 මහවැලි ජනපදිකයන් වෙත බෙදාදීමට සැලසුම් කර තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදාදීම මෙහිදී සිදුවිය.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.