May 8, 2023

2021 වසර අවසානයට සාපේක්ෂව, මධ්‍යම රජයේ නොපියවූ ණය 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 10,000කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.

එහිදී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

“රජයේ විශාල මූල්‍යන අවශ්‍යතාවල බලපෑම, විනිමය අනුපාතිකයේ තියුණු අවප්‍රමාණය වීම මෙන්ම රජය සතු ව්‍යවසායයන්ගේ තෝරාගත් ණය මධ්‍යම රජයේ ණය වශයෙන් අවශෝෂණය කර ගැනීම පිළිබිඹු කරමින්, මධ්‍යම රජයේ නොපියවූ ණය, 2021 වසර අවසානයට සාපේක්ෂව, 2022 වසර අවසානයේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මධ්‍යම රජයේ සමස්ත නොපියවූ ණය තොගය, නාමික වශයෙන්, 2021 වසර අවසානය වන විට පැවති රුපියල් බිලියන 17,614.2 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 27,492.0ක් දක්වා සියයට 56.1කින් ඉහළ ගියේය. ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය, 2021 වසර අවසානයට පැවති සියයට 100.1ට සාපේක්ෂව 2022 වසර අවසානය වන විට සියයට 113.8ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, 2022 වසර තුළ දී ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අවප්‍රමාණ වීම මූලික වශයෙන් පිළිබිඹු කරමින්, 2021 වසර අවසානයේ දී ද.දේ.නි.යෙන් සියයට 37.0ක්ව පැවති දේශීය ව්‍යවහාර මුදලින් තක්සේරු කළ මධ්‍යම රජයේ නොපියවූ විදේශීය ණය, 2022 වසර අවසානය වන විට ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 51.6ක් දක්වා ඉහළ ගියේය.” යැයි මහ බැංකු වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.