June 18, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ කෙරිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු විය.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව සඳහන් කළේය.

එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නීතියෙන් අවසර හිමිවී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඩුවමක් නොවිය යුතු බවත් සඳහන් කළේය.

සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සදහා කැදවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් සඳහන් කළේය.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවටත් චෝදනා කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

මෙහිදී විනිසුරු සරත් දිසානායක ප්‍රශ්නයක් මතු කරමින් යම් විමර්ශනයක් පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිතා කිරීම සිදුවනවා නේදැයි විමසුවේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ පුද්ගල නිදහස අහිමි කිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම විසින් දින 214 ක් තුළ පුද්ගලයින් 257 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන තිබු බවත් සඳහන් කළේය.

ඊට අදාළව එම කොමිසම විසින් වෙලුම් හයකින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, එහි කිසිදු ස්ථානයක මෙම පෙත්සම්කරු ගැන සදහන් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු නොකළ බවත් ඔහු චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු නොසැලකිල්ලෙන් කටයුතු කළ බව චෝදනා කල ජනාධිපති නීතිඥවරයා එවැනි අයෙකු සිය සේවා දායකයා අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත් පැවසුවේය.

එවැනි පුද්ගලයෙකු වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත තත්ත්වයක් බවත් මෙවැනි පුද්ගලයකු විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී නැගී සිටි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් උගත් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන බවත් එය හුදෙක්ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් බවත් චෝදනා කළේය.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා තමා කිසිදු අවස්ථාවකට නීතිපතිවරයාට චෝදනා නොකරන බව සඳහන් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පෙන්වා දුන් බවත් පැවසුවේය.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 24 වනදා දක්වා කල් තිබීමටද අධිකරණය නියම කළේය.