May 25, 2026

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සහ මූල්‍ය ආයතන මුහුණදෙන අවදානම් අවම කිරීම අරමුණු කරගනිමින්, රන් ඇපකර මත ලබාදෙන ණය පහසුකම් සඳහා සීමාවන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහබැංකුවේ සාර්ව විචක්ෂණ අධිකාරියට පැවරී ඇති බලතල අනුව ගනු ලැබූ මෙම තීරණය අද (25) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

මෙම නව නියෝගය සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් (ෆිනෑන්ස්) සමාගම් සඳහා අනිවාර්ය වේ.

මෑත කාලීනව රන් භාණ්ඩ ඇපයට තබා ණය ලබාගැනීමේ ප්‍රවණතාවයේ කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇති අතර, එමගින් සමස්ත මූල්‍ය පද්ධතියට ඇතිවිය හැකි අහිතකර බලපෑම් වැළැක්වීම මහබැංකුවේ අරමුණයි.

ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි, ඕනෑම මූල්‍ය ආයතනයකින් රන් භාණ්ඩ ඇපයට තබා ණයක් (රන් ණයක්) ලබා ගැනීමේදී, එම රන් භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකමෙන් උපරිම 70%ක මුදලක් පමණක් ණය ලෙස නිකුත් කිරීමට මූල්‍ය ආයතනවලට අවසර ලැබෙනු ඇත.

විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ මෙරට මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මහ බැංකුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.