September 11, 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු මැදපෙරදිග ප්‍රධාන මුහුදු ප්‍රවාහන මාර්ගයන්හි සිදුවන ප්‍රහාර තීව්‍ර වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් සැපයුම දීර්ඝ කාලීනව අඩාල වේ යැයි හටගත් බිය හේතුවෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.97 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය මැයි මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය වේ.

ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 100 සීමාවට ඉහළින් පවතී.

මෙම තෙල් වර්ග දෙකෙහිම මිල ගණන් සතියක් තුළ 13%ක පමණ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන තෙල් නැව් 5ක් විනාශ වීමෙන් පසුව, හෝමුස් සමුද්‍ර සන්ධිය අසල නෞකා 10කට ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර ඇත.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා ඇත්තේ ඉදිරි ප්‍රහාර හමුවේ තම ප්‍රතිචාර තවත් දැඩි කරන බවයි.

යේමනයේ මෝචා වරාය ඉරාන හිතවාදී හුති සංවිධානය විසින් අල්ලා ගැනීමත් සමඟ රතු මුහුද හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

තෙල් මිල මෙලෙස අහස උසට ඉහළ යෑම හේතුවෙන් ගෝලීය උද්ධමනය නැවතත් දැඩි ලෙස ඉහළ යෑමේ අවදානමක් මතුව ඇති අතර, එමගින් ලෝකයේ මධ්‍යම බැංකුවලට පොලී අනුපාත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.