May 6, 2024

ජංගම උපාංග භාවිත කරන්නන්ගේ නොදැනුවත්භාවය හේතුවෙන් සිදුවිය හැකි මූල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය, ලංකාපේ සහ මූල්‍ය ආයතනය විසින් ඒකාබද්ධව දැනුවත්කිරීමක් සිදුකර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ වූ මූල්‍ය වංචා සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට වාර්තා වී ඇති බවයි.

ආකර්ෂණීය මාර්ගගත දීමනා ලෙස ජංගම උපාංග වෙත ලැබෙන නොදන්නා ලින්ක් මත ක්ලික් කිරීමෙන් සහ හානිකර යෙදුම් සහ ගොනු(apps & files) බාගත කිරීමෙන් වංචාකරුවන්ට ජංගම උපාංගයට ඇතුළුවීමටත් එය දුරස්ථව පාලනය කිරීමටත් හැකියාව ලැබෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

වංචනිකයන් ජංගම උපාංගය පාලනය කළ පසු, එම උපාංගයේ ඇති බැංකු/ගෙවීම් යෙදුම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර, ජංගම උපාංගය හරහා ප්‍රවේශ වූ බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් සොරකම් කිරීමට මග පාදනු ලැබේ.

මෙවැනි වංචාවන්ට හසු නොවීම සඳහා වඩාත් විමසිලිමත් වන ලෙස ඔවුන් සාමාන්‍ය ජනතාවට උපදෙස් දී තිබේ.

මෙම වංචනිකයන් මෙවැනි වංචනික ක්‍රියා සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා, වෙබ් අඩවි සහ මාර්ගගත පණිවිඩ හුවමාරු වේදිකා භාවිත කරනු ලබයි.

අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ වාර්තා වී ඇති වංචා සිද්ධීන්වලට හේතුව වංචනිකයන් ඔබගේ ජංගම උපාංගයේ පාලනය ලබාගැනීම නිසා මිස අන්තර්ජාතික ආරක්ෂක ප්‍රමිතීන්ට අනුගත වන බැංකු/ගෙවීම් යෙදුම්වල කිසිදු ආරක්ෂක අවදානමක් නිසා නොවන බව සැළකිල්ලට ගත යුතු බවයි.

එවැනි වංචාවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා, ප්‍රවේශම්සහගත ලෙස ක්‍රියාකරන ලෙස ඔවුන් ජනතාවට දැනුම්දී තිබේ.

එසේම ඒ වෙනුවෙන් ඔවුන් මෙම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ද මහජනතාවට උපදෙස් දී ඇත.

යථාර්ථවාදී නොවන ගනුදෙනු ලබාදෙන මාර්ගගත වෙළඳ දැන්වීම්වලින් පරිස්සම් වන්න.

සබැඳි මත ක්ලික් කිරීමෙන් සහ නොදන්නා මූලාශ්‍රවලින් යෙදුම් හෝ ගොනු බාගැනීමෙන් වළකින්න.

සමාජ මාධ්‍ය වේදිකා හෝ ඔබගේ අනුමැතියකින් තොරව එකතු කරන සබැඳි පණිවිඩකරණ වේදිකාවල ඇති නොදන්නා සහ නුහුරු නුපුරුදු
කණ්ඩායම්වලින් පිටවන්න.

එවැනි කණ්ඩායම් හරහා බෙදාගන්නා සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.

ඔබගේ උපාංගයේ මුරපද සුරැකීමෙන්(save) වළකින්න.

Apple App Store, Google Play Store වැනි නිල වෙළඳසැල්වලින් දෙන යෙදුම් පමණක් යෙදුම් බාගන්න

බැංකු/ගෙවීම් යෙදුම් වෙත ප්‍රවේශ වීමට ජෛවමිතික සත්‍යාපනය (උදා., ඇඟිලි සලකුණු, මුහුණ හඳුනාගැනීම) ඇත්නම් එය භාවිත කරන්න.

යෙදුම් අවසර නිතිපතා සමාලෝචනය කර ස්ථාපිත යෙදුම් සඳහා ලබා දී ඇති අධික අවසරයන් ඉවත් කරන්න.

නිල යෙදුම් වෙළඳසැල්වලින් පිළිගත් ප්‍රති-වයිරස යෙදුමක් ස්ථාපනය කර වෛරස් සහ හානිකර මෘදුකාංග හඳුනාගැනීමට සහ ඉවත් කිරීමට එය
යාවත්කාලීනව තබා ගන්න.

සබැඳි ක්ලික් කිරීමෙන් පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු හෙළි කිරීමට ඔබව පොළඹවන පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න.

ඔබගේ උපාංගයේ අසාමාන්‍ය හැසිරීමක් දුටුවහොත් වහාම ඔබගේ ජංගම දත්ත/WiFi අක්‍රිය කරන්න හෝ ගුවන් යානා(airplane mode) ප්‍රකාරයට මාරු
කරන්න.

FinCSIRT, බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ලද ආරක්ෂක අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කර ඔවුන්ගේ නිර්දේශිත පූර්වාරක්ෂාවන් අනුගමනය කරන්න.

පරීක්ෂාකාරී වන්න. මූල්‍ය වංචාවලට හසු නොවන්න.