April 16, 2024

නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන අඛණ්ඩ උත්සාහයන් දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසයට හේතුවනු ඇති බව ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් ප්‍රකාශ කර තිබේ.

‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයෝජන ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් නීති පද්ධතියේ සඵලතාව බොහෝ විට ප්‍රශ්න කරනු ලබන්නේ දූෂණය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන් බවයි.

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් තවදුරටත් පවසා ඇත්තේ නීති තිබුණද ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වන බැවින් එමඟින් ආයෝජකයන් ශ්‍රී ලංකාව තෝරා ගැනීමෙන් වළක්වන බවයි.

දූෂණය සහ අකාර්යක්ෂමතාව පිළිබඳ ආයෝජකයන්ගේ ගැටලු ආමන්ත්‍රණය කිරීමෙන්, ආයෝජනයට පහසුකම් සැලසෙන සහ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහතික කරන විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මේ වන විට උත්සාහ කරමින් සිටියි.

ඒ අනුව එම උත්සාහයන් ව්‍යාපාරික හිතකාමී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තියට දායක වනු ඇතැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.