July 14, 2026

මුත්‍රා ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ 12 හැවිරිදි පාසල් දැරියක් පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය වසර දෙකක කාලයක් තිස්සේ සිය සීයා අතින් දූෂණයට ලක්ව ඇති බව අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරු පස්දරු පියකු වන අතර, වින්දිත දැරිය ඔහුගේ එක් පුතෙකුගේ දියණියකි. ඔවුන් පදිංචිව සිටින්නේ සැකකරුගේ නිවස අසලමය.

රෝහලෙන් ලැබුණු තොරතුරු මත වහාම පරීක්ෂණ ආරම්භ කළ ගම්පොල පොලිසිය සැකකාර සීයා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ඇය ඔහුව ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

දැරියගේ මව වසර හතරක පමණ කාලයක සිට විදේශගතව රැකියාවක නිරතව සිටින බව පොලිසිය උසාවියට දැනුම්දුන්නේය. දැරියට වයස අවුරුදු 10ක්ව තිබියදී සැකකරු ඇයව ප්‍රථම වරට දූෂණය කර ඇති අතර එතැන් සිට දිගින් දිගටම මෙම අපරාධය සිදු කර ඇත.

පසුගියදා දැරියට වැළඳුණු මුත්‍රා ආසාදනයක් හේතුවෙන් ඇයව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී වෛද්‍යවරුන් ඇයව පරීක්ෂා කිරීමේදී ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව හෙළිව තිබේ.

පසුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ සිය සීයා තමන්ට කාලයක සිට මෙලෙස අතවර කළ බවයි.

වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය ඊයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.