April 20, 2023

“පුද්ගලයන්ව බියගන්වා වැඩගැනීමේ” ක්‍රමවේදය අනුමත කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බවද එම සම්මේලනය ප්‍රකාශ කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ජනමාධ්‍ය වෙත සඳහන් කරන්නේ, ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය.

ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව, ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ඊයේ(19) සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළිතුරු ලබාදෙමින් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට, ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට, එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්‍රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්. ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”