May 23, 2026

ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා ඉන්දියාවේ රාජ්‍ය සන්තක ඉන්ධන සමාගම් මේ මාසය තුළ තෙවැනි වරටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ අද (මැයි 23) ප්‍රකාශ කළහ.

ලෝකයේ තෙවැනි විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාව, යුද වාතාවරණය හමුවේ ගෝලීය වශයෙන් මිල ගණන් ඉහළ ගියද සිල්ලර ඉන්ධන මිල ඉහළ නැංවීම ප්‍රමාද කළ අවසන් ප්‍රධාන ආර්ථිකයක් සහිත රටක් ද වේ.

මීට පෙර පසුගිය මැයි 15 වැනිදා සිදුකළ මිල ඉහළ දැමීම වසර හතරකට පසු ඉන්දියාවේ සිදුවූ පළමු ඉන්ධන මිල සංශෝධනය විය.

මැතිවරණ සහ දේශපාලන බලපෑම් හේතුවෙන් රාජ්‍ය සමාගම් විසින් මෙම මිල ඉහළ දැමීම් සිදුකරනු ලබන්නේ පියවරෙන් පියවර (Staggered manner) ක්‍රමයටයි.

මීට පෙර 2022 අප්‍රේල් මාසයේදී ද උත්තර ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක මැතිවරණ අවසන් වූ වහාම මෙලෙස මිල ඉහළ දැමීමට සමාගම් කටයුතු කර තිබිණි.

මේ අතර විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය පසුගිය ප්‍රාන්ත මැතිවරණවලදී ඡන්දය ලබාගැනීමේ අරමුණින් මෙම මිල ඉහළ දැමීම් හිතාමතාම ප්‍රමාද කළ බවයි.

පිරිපහදු අංශවල ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සිදුවූ පාඩුව සම්පූර්ණයෙන්ම පියවා ගැනීම සඳහා තවත් මිල ඉහළ දැමීම් අවශ්‍ය වනු ඇති බවයි.

භාරත් පෙට්‍රෝලියම් (BPCL) සමාගමේ සභාපතිවරයා මේ සතිය මුලදී ප්‍රකාශ කළේ, මිල ඉහළ දැමුවද තමන් තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 25-30 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10-14 ක පාඩුවක් ලබන බවයි.

කෙසේවෙතත්, පිරිපහදු සමාගම් සඳහා කිසිදු මූල්‍ය ආධාරයක් සැපයීමට රජයට සැලසුමක් නොමැති බව ඉන්දීය තෙල් අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

ඉන්දියාවේ ඇති සමස්ත ඉන්ධන පිරවුම්හල් 103,000 න් 90% කට වඩා වැඩි ප්‍රමාණයක අයිතිය පවතින්නේ BPCL, Indian Oil Corp සහ Hindustan Petroleum යන ප්‍රධාන රාජ්‍ය සමාගම් තුන සතුව වන අතර, ඔවුන් සාමාන්‍යයෙන් එකඟතාවයකින් යුතුව මිල ගණන් තීරණය කරනු ලබයි.