April 5, 2026

මිනිස් ඝාතන පහකට අදාළව නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩු තුනක විත්තිකරුවන් සිව්දෙනකුට මරණ දඬුවම නියම කර ඇත.

1990,1998 හා 2009 වසරවල සිදුව තිබෙන මෙම ඝාතනවල තීන්දුව මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය විසින් එකම දිනයකදී ප්‍රකාශ කරනු ලැබිණි.

නානුඔය පොලිස් වසමේ දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයකු 1998 දී ලිදුල මෙරායා වත්තේදි ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් පොන්නම්බලම් සදීෂ් නැමති 47 හැවිරිදි පුද්ගලයාට මරණ දඬුවම නියම කෙරිණි.

පට්ටිපොළදී 2009 දී තම මව, බිරිද සහ දරුවා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ ආර්.එම්.චන්ද්‍රතිලක නැමති 55 හැවිරිදි චූදිතයාටද මරණ දඩුවම නියම විය.

මෙම නඩු දෙකම ගොනුකර තිබෙන්නේ නානුඔය පොලිසියයි.

අනෙක් මරණ දඬුවම නියම වූයේ බගවන්තලාවේ පදිංචි එස්.වීරරත්න (64) හා කරුපයියා අන්නදොරෙයි (64) යන දෙදෙනාටය.

1990 වසරේ බගවන්තලාවේදී මොහොම්මඩ් සුමන් නැමති පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබිණි.