April 4, 2025

ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ වරදක් සම්බන්ධයෙන් හිටපු දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයා අප්‍රේල් 8 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද නියෝග කළාය.

ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියනයක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබාගෙන ඇති බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත.

අයැදුම්කරු ආයුර්වේද වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන සම්මත ඇගයීම් ක්‍රියාවලියට යටත් නොකර සහතිකය නිකුත් කිරීම සඳහා සැකකරු අල්ලස් ඉල්ලා සිටි බවත්, එවැනි නිකුත් කිරීමක් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත සිදුකළ යුතු බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.

පනාමුරේ පදිංචි දේශීය වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.