February 4, 2026

දයාරත්න බංගලාව නමින් ප්‍රසිද්ධව පැවති වසර 48 ක පමණ කාලයක් පී. දයාරත්න නම් හිටපු ඇමතිවරයා භාවිතයට ගෙන තිබුණු අම්පාර දිසාපති කාර්යාලයට අයත් B – 8 විධායක ශ්‍රේණියේ නිලනිවස අලුත්වැඩියා කිරීමෙන් පසුව දිස්ත්‍රික්කයේ ආබාධිත ළමුන්ගේ රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට වෙන්කර දී ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්සගේ යෝජනාවකට අනුව මෙම නිල නිවස රැකවරණ මධ්‍යස්ථානය සදහා යොදාගැනීමට නියමිතය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට අයත් සමාජ සේවා දෙපාර්තමේන්තු ආබාධිත මහලේකම් කාර්යාලය යටතේ දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම මෙවැනි රැකවරණ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ ආබාධිත දරුවන් පිළිබදව ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර බැවිනි.

අලුත්වැඩියාව නිමවෙමින් පවතින නිලනිවසේ කටයුතු සොයාබැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, සමාජ සේවා අධ්‍යක්ෂක දර්ශනී කරුණාරත්න සහ අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම ඇතුළු පිරිසක් පසුගියදා සහභාගි වූහ.