December 30, 2025

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් බවත්, එය පෙර වසරේ උපයා ගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු සඳහන් කළාය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයාබලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක්විය.

රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබාදීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළකළ ජනාධිපතිවරයා ඉදිරියටද සියලුදෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කරගැනීමට කැපවෙමු’යි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමිනොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, බදු පැහැරහැරීම් සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

බදු අයකර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබාගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.

මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජන ජීවිතය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට රජය අවධානය යොමුකර තිබෙන බවත් ප්‍රවාහන පද්ධතියේ නව පරිවර්තනයක් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්‍රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබා ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ මෙම සාර්ථකත්වයට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම හේතු වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

2026 වසර සඳහා රුපියල් බිලියන 2401ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බවත් බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම ආදී වැඩපිළිවෙළ මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

එසේම 2026 වසරේදී තෙවන පාර්ශ්වීය දත්ත හුවමාරුව පුළුල් කිරීම, දෙස්-විදෙස් වත්කම් පිළිබඳවද පුළුල් ලෙස සොයා බැලීම, රැමිස් පද්ධතිය දෙපාර්තමේන්තුවට භාර ගැනීම, අවදානම් පාදක විගණනය ශක්තිමත් කිරීම, e ඉන්වොයිසිය හඳුන්වා දීම, බදු කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ බදු සදාචාරය ඉහළ නැංවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළාය.(PMD)