September 30, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවට නිසි විසඳුමක් දෙන්නැයි ඉල්ලා දෙමව්පියෝ ප්‍රදේශ කිහිපයක දී විරෝධතාවල නිරත වූහ.

ඉන්, ප්‍රධාන විරෝධතාව පැවැත්වූයේ, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටය.

ඔවුන් ඉල්ලා සිටින්නේ, ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව කඩිනමින් විසඳන ලෙසයි.

ශිෂ්‍යත්ව විභාගයේ පිටවූවා යැයි කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනට සියලු සිසුන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ ය.

ඒ, අදාළ ගැටලුව පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මතය.

අද(30) දෙමව්පියන් විරෝධතාවල නිරත වූයේ, එම තීරණයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් ය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දරගෙන් විමසීමක් සිදුකර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ, විරෝධතාවයේ නිරත දෙමව්පියන්ගෙන් කිහිපදෙනකුට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන බවයි.

එහිදී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාවරය දැනුම්දීමට නියමිත බව ද, ලේකම්වරිය සඳහන් කර තිබේ.

මේ අතර එම ගැටලුව පදනම් කරගනිමින් ඇල්පිටිය කලාප අධ්‍යාපනන කාර්යාලය ඉදිරිපිටදී ද, අද(30) පෙරවරුවේ තවත් විරෝධතාවක් පැවැත්වීය.

42.31%
17.27%
32.76%