March 9, 2024

හබරණ ප්‍රදේශයේ පළමු පෞද්ගලික අලි අභිජනන මධ්‍යස්ථානය සහ හීලෑ අලි ඇතුන් සඳහා රෝහල පසුගිය බ්‍රහස්පතින්දා විවෘත කෙරිණි.

මහියංගන ඇසළ මංගල්‍යයේදී සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ‘සීතා’ නමැති ඇතින්නගේ හිමිකරුවන එස්.එන්.රොෂාන්ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ප්‍රථම අභිජනනය සිදු වූ රෝහල සහ අභිජනන භූමිය විවෘත කිරීමේ උත්සවයට සුවය ලැබූ සීතා ඇතින්න සහ තවත් ඇතකු ගෙනවිත් තිබිණි.

අලි ඇතුන්ගේ පාරම්පරික හිමිකරුවකු වන රොෂාන් එහිදී පවසා ඇත්තේ, ඇත්ගොව්වන් පුහුණු කිරීම සඳහාද මෙම ස්ථානයේ පහසුකම් ඇති බවයි.

පේරාදෙණිය පශු වෛද්‍ය විද්‍යා පීඨයේ පශු වෛද්‍යවරුන්ගේ උත්සාහය නිසා තම සීතා ඇතින්න දිවි ගලවා ගත් බවද ඔහු පෙන්වාදී තිබේ.

ආගමික හා සංස්කෘතික උත්සව සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බවත්, දැනට සිටින ගෘහාශ්‍රිත අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.