October 21, 2024

හලාවත – සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක තිබී සොයාගැණුනු පිළිස්සුනු මළසිරුරු තුනෙන් එක් මළසිරුරක ගෙළ කපා තිබූ බැවින් එය ඝාතනයක් විය හැකි බවට සැක කර මළසිරුරු තුන සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

42 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 40 හැවිරිදි බිරිඳ සහ 15 හැවිරිදි දියණිය එලෙස නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත.

මව නිවස තුළ ඇඳක් මත මියගොස් සිටි අතර පියා සහ දියණියගේ සිරුරු සාලයේ තිබී සොයාගෙන ඇත.

එකම පවුලේ තිදෙනෙකු නිවසක හට ගත් ගින්නකින් මියගිය බවට පළමුව වාර්තා වූ නමුත් පසුව අනාවරණය වූයේ මියගොස් සිටි කාන්තාවගේ ගෙළ කපා ඇති බවයි.

“නිවසේ ඇඳක් මත මියගොස් සිටි කාන්තාවගේ උගුර තරමක් විවර වී ඇති බව නිරීක්ෂණය කළ අතර ඇයගේ උගුර බොහෝදුරට කැඩී ඇති බව අපි විශ්වාස කරනවා.”

“කෙසේවෙතත්, සිරුර පිළිස්සී ඇති බැවින් අපට කිසිවක් තහවුරු කරන්න බැහැ, එම නිසා ගින්නෙන් එය සිදුවූවක්ද, නැතහොත් එය කැඩීගියේද යන්න පිළිබඳව අපට දැන්ම නිශ්චිතව කියන්න බැහැ,” පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනමාධ්‍ය හමුවකදී පැවසීය.

මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලේ ගුරුවරියක් ලෙසද සේවය කර ඇත.

මියගිය කාන්තාවගේ සැමියා වාහන සහ දේපළ ව්‍යාපාරවල නිරතව සිට ඇති අතර ඔවුන්ගේ දියණිය ලබන වසරේදී අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනීසිටීමට සූදානමින් සිට තිබේ.

නිවසේ දොර ඇතුළතින් අගුළු දමා තිබූ බවත් නිවසින් පිටත තිබූ පොල් ලෙලි, දර වැනි ගිනිගන්නා සුළු ද්‍රව්‍ය නිවස තුළට ගෙනැවිත් සාලයේ තබා ඇති අයුරු නිරීක්ෂණය වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එබැවින් නිවස තුළ ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එය ඝාතනයක් බවට ඇති සැකය මත විමර්ශන නිලධාරීන් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මේ අතර මීට මාසයකට පමණ පෙර ඔවුන්ගේ නිවසින් මිලියන 2.5 ක් පමණ වටිනා රන් ආභරණ ද අතුරුදන් වී ඇති අතර බලහත්කාරයෙන් ඇතුළුවීමක් නිරීක්ෂණය නොවීම හේතුවෙන් එය නොවිසඳුණු අභිරහසක්ව පැවත තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

42.31%
17.27%
32.76%