September 1, 2026

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ගිනිඅවි බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර සිය බලපත්‍ර අලුත් කරගත යුතු බවයි.

ගිනිඅවි ආඥාපනතේ 22 වන වගන්තිය ප්‍රකාරව වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි. නියමිත අවසාන දිනයට පෙර බලපත්‍ර අලුත් කිරීමට අපොහොසත් වන ගිනිඅවි හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද නියමිතය.

මේ අතර, 2026 සැප්තැම්බර් 01 සහ දෙසැම්බර් 31 අතර කාලය තුළ සිය ලියාපදිංචිය අලුත් කිරීමට අසමත් වන පෞද්ගලික ආරක්ෂක ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

අනවශ්‍ය අපහසුතාවයන් සහ විය හැකි නීතිමය බලපෑම්වලින් වැළකී සිටීම සඳහා නියමිත කාලසීමාව තුළ අදාළ අලුත් කිරීම් සිදු කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම අදාළ පුද්ගලයින්ගෙන් සහ ආයතනවලින් ඉල්ලා සිටියි.