November 28, 2026

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම (long-term sovereign credit ratings) ‘CCC+’ සිට ‘B−’ දක්වා ඉහළ නැංවීමට සහ එහි ඉදිරි දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ පවත්වා ගැනීමට S&P Global Ratings ආයතනය ගත් තීරණය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින් සාදරයෙන් පිළිගෙන තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම මගින් ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාව සතු හැකියාව වර්ධනය වී ඇති බවත්, අහිතකර බාහිර මූල්‍ය තත්ත්වයන්ට ඇති අවදානම අඩු වී ඇති බවත් පිළිබිඹු වන බවයි.

රාජ්‍ය ආදායමේ ප්‍රබල වර්ධනය, විදේශ විනිමය සංචිත අඛණ්ඩව ඉහළ යෑම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින ශක්තිමත්භාවය මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට S&P ආයතනය හේතු ලෙස දක්වා ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙයි.

2026 සැප්තැම්බර් මාසයේදී ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ගනු ලැබූ මෙවැනිම තීරණයකට පසුව මෙම නවතම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ආර්ථික ප්‍රකෘතිය තිරසාරව පවත්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් තවදුරටත් ඉහළ නැංවීම සඳහා මූල්‍ය විනය පවත්වා ගැනීමටත්, විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමටත්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමටත් රජය කැපවී සිටින බව මුදල් අමාත්‍යාංශය යළිත් අවධාරණය කර ඇත.