November 21, 2026

ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අන්තර්ජාතික වංචා ජාල පිළිබඳ විමර්ශන සඳහා මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දීමේ අරමුණින්, ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, නොවැම්බර් 16 සිට 22 දක්වා සිදු කෙරෙන මෙම සංචාරයේදී සයිබර් අපරාධ හරහා සිදුකෙරෙන වංචා සහ ජාත්‍යන්තර අපරාධ ජාල මැඬලීම සඳහා ඇමරිකානු සහ ශ්‍රී ලාංකික බලධාරීන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණු බවයි.

මෙම සංචාරය අතරතුරදී FBI සහ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂිත ඒකක කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇත. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ තාක්ෂණික සහාය ඒකකය ඊට ඇතුළත් වේ.

මෙම ඒකාබද්ධ කණ්ඩායම් විසින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වංචා මධ්‍යස්ථාන දෙකකට අදාළ විමර්ශන සමාලෝචනය කර ඇති අතර, ඩිජිටල් සාක්ෂි සොයා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග 80කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

විමර්ශන උපාය මාර්ග සමාලෝචනය කිරීම, ඩිජිටල් සාක්ෂි පිළිබඳ පුහුණුව ලබා දීම සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද වැටලීම්වලදී සොයාගත් උපකරණවලින් තොරතුරු ලබා ගැනීම ද මෙම සහයෝගීතා වැඩපිළිවෙළට ඇතුළත් විය.

සයිබර් අපරාධ හරහා විශේෂයෙන්ම ඇමරිකානුවන් ඇතුළු පුද්ගලයින් රවටා මුදල් වංචා කරන අන්තර්ජාතික ජාල විසුරුවා හැරීම මෙම විමර්ශනවල ප්‍රධාන අරමුණ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

එවැනි ජාත්‍යන්තර අපරාධ ජාල විසින් ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් ඩොලර් බිලියන ගණනක් සොරකම් කරන බව පෙන්වා දෙන තානාපති කාර්යාලය, දේශසීමා ඉක්මවා යමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරයි. ඉදිරියටත් FBI ආයතනය සහ ශ්‍රී ලංකා බලධාරීන් තොරතුරු හුවමාරු කර ගනිමින්, විමර්ශන ඉදිරියට ගෙන යමින් අන්තර්ජාතික වංචා මෙහෙයුම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

දෙරටේම පුරවැසියන් මෙවැනි වංචාවලින් ආරක්ෂා කර ගැනීම සහ සයිබර් අපරාධවලට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම මෙම සහයෝගීතාවයේ පුළුල් අරමුණ බව ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.