November 20, 2026

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දානපතියෙකු විසින්, ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු කලා කෘති ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි ෆීනික්ස් කලා කෞතුකාගාරය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඒ සඳහා වෙන් වූ විශේෂ කලාගාරයක් පිහිටුවීම, කලා ප්‍රදර්ශන පැවැත්වීම, පර්යේෂණ කටයුතු සහ සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණයි.

වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය හරහා ‘ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු කලා කෘති සඳහා වන නාගේන්ද්‍රන් කලාගාරය’ (Nagendran Gallery for the Art of Sri Lanka and South Asia) ස්ථාපිත කිරීමට හැකි වී ඇති අතර, එහි සමාරම්භක ප්‍රදර්ශකයා ලෙස ශ්‍රී ලාංකික කලාකරු පාල පොතුපිටිය තෝරාගෙන ඇත.

‘ශ්‍රී ලාංකික විඥානය සිතියම්ගත කිරීම’ නමැති ඔහුගේ කලා ප්‍රදර්ශනය 2026 නොවැම්බර් 13 වන දින විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතික අනන්‍යතා සහ යටත්විජිත උරුමය ගවේෂණය කරන මූර්ති, සිතුවම්, එකලස් කිරීම් , මිශ්‍ර මාධ්‍ය නිර්මාණ සහ සංශෝධිත යටත්විජිත සිතියම් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

එමෙන්ම, 4 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කාලයට අයත් ප්‍රනාන්දු පවුලේ එකතුවේ ඇති බෞද්ධ හා හින්දු අත්පිටපත් සහ මූර්ති මෙන්ම, ශ්‍රී ලංකාවේ නිදහසින් පසු උරුමයන් නිරූපණය කරන ඡායාරූප ද මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ.

මෙම ඇමරිකානු ඩොලර් මිලියන 5ක පරිත්‍යාගය කෞතුකාගාරයේ ආසියානු කලාගාර පුළුල් කිරීමට, නව කලා කෘති අත්පත් කර ගැනීමට, ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා සහ ශ්‍රී ලාංකික හා දකුණු ආසියානු කලාව කේන්ද්‍ර කරගත් මහජන වැඩසටහන් සඳහා යොදා ගැනෙනු ඇත. අනාගත කලාකරුවන්ගේ නේවාසික වැඩසටහන් සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සඳහා ද මෙමගින් අරමුදල් සැපයේ.

කෞතුකාගාරය විසින් සිය ආසියානු කලා අංශය ‘ආසියානු කලාව සඳහා වන වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් අංශය’ ලෙස නම් කර ඇති අතර, පුළුල් කරන ලද මෙම කලාගාර වර්ග අඩි 9,500කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිදේ.

ඇරිසෝනා ප්‍රාන්තයේ වෙසෙන වෛද්‍යවරයෙකු සහ ජෛව තාක්ෂණික විධායක නිලධාරියෙකු වන වෛද්‍ය නාගේන්ද්‍රන් මහතා, ‘ටේෂා ජීන් තෙරපීස්’ (Taysha Gene Therapies) ආයතනයේ සභාපති සහ පර්යේෂණ හා සංවර්ධන ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍ය පහසුකම් සහ පාසල් ඇතුළු සිවිල් ප්‍රජා සත්කාරක ව්‍යාපෘති සඳහා ද සිය දායකත්වය ලබා දී ඇත.