May 25, 2026

මෙරට පැවැති සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ‘ජන සංහාරයක්’ සිදු වූ බවට ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කළ අදහස්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් පසුගිය සති අන්තයේදී දැඩි ලෙස හෙළාදකින ලදී.

“ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කළේ කතෝලික සභාවේ මතවාදය නෙමෙයි. ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික මතවාදය මිස සභාවේ මතය නෙමෙයි. ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සැමවිටම පෙනී සිටියේ සහ තවදුරටත් පෙනී සිටින්නේ සංහිඳියාව, සමාජ සංවාදය සහ ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ට ගරු කිරීම වෙනුවෙනුයි,” යනුවෙන් කතෝලික රදගුරු සම්මේලනයේ සමාජ සන්නිවේදනය පිළිබඳ රදගුරු කොමිසමේ සභාපති, ජූඩ් නිශාන්ත සිල්වා රදගුරුතුමා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ අතර, කතෝලික සභාවේ ජාතික සමාජ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් මිස කිසිදු ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව කළ යුද්ධයක් නොවන බවයි.

“ශ්‍රී මහා බෝධිය සහ දළදා මාළිගාව, අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා, මහ බැංකුව, පිටකොටුව බස් නැවතුම්පොළ සහ දෙහිවල දුම්රිය වැනි ස්ථානවලට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එදා සිදු වුණා,” යැයි පියතුමා පැවසීය.

වසර 30ක යුද්ධයේ අරමුණ ශ්‍රී ලංකාවේ සමස්ත දෙමළ ප්‍රජාවම විනාශ කිරීම බවට ජීවන්ත පීරිස් පියතුමා කළ ප්‍රකාශයන්ට සමාජ මාධ්‍ය ජාල තුළ පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණි.