November 25, 2026

විදේශිකයකු ලෙස පෙනීසිටිමින් කොළඹ ප්‍රදේශයේ රන් ආභරණ සාප්පු සංකීර්ණවලට ඇතුළු වී රුපියල් ලක්ෂ විස්සක පමණ රන් ආභරණ සොරාගත් පුද්ගලයෙකු ගාලුමුවදොර ප්‍රදේශයේදී හෙරොයින්ද සමගින් කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු භාෂා හයක් චතුර ලෙස කතාකළ හැකි විදේශිකයකුගේ පෙනුම ඇති පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ හොරයින් මත්ද්‍රව්‍යය මිලිගෑම් 2800 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සොරාගෙන තිබූ රෝස් ගෝල්ඩ් වර්ගයේ පවුම් භාගයක් බරැති කුඩා දියමන්ති ගල් 68 ක් අඩංගු මුදුවක්, පින්ක් සපාය වර්ගයේ දියමන්ති ඔබවන ලද රත්තරන් මුදුවක් , හා තවත් රන් ආභරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කොළඹ කොටුව, වරාය හා කොල්ලුපිටිය පොලිස් වසම් වල පිහිටි බහුල වශයෙන් විදේශීය ජාතිකයන් රන් ආභරණ මිලදී ගැනීම සඳහා පැමිණෙන සාප්පු සංකීර්ණ වෙත ඉකුත් සැප්තැම්බර් මස සහ මෙම මාසයේ අවස්ථා කිහිපයකදී රන් ආභරණ මිලදී ගන්නා මුවාවෙන් ගොස් තමන් එංගලන්ත ජාතිකයෙකු බව හඟවමින් මඳ වේලාවක් රැඳී සිට ඒවා පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කඩවසම් පුද්ගලයෙකු වන සැකකරු පැහැපත් සමකින් යුක්ත වන අතර අව් කණ්ණාඩියක් පැලඳ ඒ සෑම සාප්පු සංකීර්ණයක් වෙත ගොස් තිබූ බව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී පැහැදිලි වන බව පොලිසිය කියයි.

මේ සැකකරු සොයා කොටුව පොලිසියේ නිලධාරින් දින කිහිපයක් තිස්සේ කරන ලද සොයාබැලීම් වලට අනුව සැකකරු පෙරේදා (23 වැනිදා) ගාලුමුවදොර ආසන්නයේ රැඳී සිටියෙදී අත්අඩංගුවට ගෙන ඇත.

37 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් ශ්‍රී ලාංකිකයකු බවත් මව එංගලන්ත ජාතික කාන්තාවක් බවත් කටුගස්තොට මාපානවතුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බවත් ගල්කිස්ස ප්‍රදේශයේ කුලී කාමරයක තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම සොරකම් සියල්ල සිදුකළ බවත් අනාවරණය කර ඇත.

සොරා ගත් සියලුම රන් ආභරණ පිටකොටුව හෙටිටි වීදිය රන් ආභරණ වෙළෙඳසල්වලට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

එකී මුදල් සියල්ල මත්ද්‍රව‍ය සඳහා වැය කළ බවද පොලිසිය හමුවේ පවසා තිබේ.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)