July 23, 2023

මෑතකදී මත්පැන් සහ දුම්වැටි සඳහා 20%ක බදු වැඩිකිරීමෙන් පසුව, 2023 සඳහා පුරෝකථනය කළ ආදායම් ඉලක්ක සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇත.

අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් සහ නීතිය බලාත්මක කිරීමේ) කපිල කුමාරසිංහ පවසන්නේ, පවතින ඉහළ උද්ධමනකාරී වාතාවරණය මධ්‍යයේ, රජය මේ මස මුලදී හඳුන්වා දුන් 20%ක සුරාබදු බදු වැඩිවීමෙන් පසු, මත්පැන් සහ දුම්වැටි පරිභෝජනය සැළකිවයුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එබැවින්, 2023 සඳහා පුරෝකථනය කර ඇති ආදායම් ඉලක්ක සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් යවා ඇත.

“මේ බදු වැඩි කිරීමට පෙර ඉඳන්ම මත්පැන් සහ සිගරට් අලෙවිය අඩුවුණා. ඒ නිසා මේ නව සුරාබදු බදු වැඩිවීමෙන් පස්සේ, 2023 සඳහා අපි පුරෝකථනය කරල තියෙන බදු ඉලක්ක සංශෝධනය කිරීමට සිදුවන බව පැහැදිලියි” යැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදෙයි.

මේ අතර, දුම්වැටි සඳහා 20%ක බදු වැඩිකිරීමෙන් අනතුරුව, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බීඩි සඳහා අයකරන බදු ඉහළ දැමූ නමුත්, බීඩි නිෂ්පාදකයන් සිය කර්මාන්තය විධිමත් කිරීමට සහ බදු පැනවීමට එරෙහිව එල්ල කරන දැඩි විරෝධය හේතුවෙන්, මෙම බීඩි බද්ද අයකර ගැනීමද ගැටලුකාරී වී ඇතැයි පැවැසේ.