July 30, 2026

බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 02 වැනිදා දක්වා කාලය ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ආර්. ගුරුසිංහ සහ ඒ. ප්‍රේම් ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන කේ. කනග්-ඊශ්වරන්, සුමති ධර්මවර්ධන සහ අලි සබ්රි තම විරෝධතා ගොනුකිරීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබාදුන්නේය.

බලපත්‍රලාභී මත්පැන් වෙළෙන්දන් පිරිසක් විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා, එහි නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා නම් කර ඇත.

සුරාබදු ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුව බියර් ලෙස අර්ථදක්වා ඇත්තේ බාර්ලි (malt) මගින් පැසවීමෙන් සාදනු ලබන පානයක් බවත්, නමුත් වර්තමානයේ බොහෝ නිෂ්පාදකයන් ඒ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

රජය විසින් සහල් වගාව සඳහා විශාල ලෙස සහනාධාර ලබාදෙන පසුබිමක, මෙම ක්‍රියාමාර්ගය නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාතික ආර්ථික හිතකාමීත්වයටද හානිකර බව පෙත්සම්කරුවෝ පවසති.

වාණිජමය පදනමින් බියර් නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම ශ්‍රී ලංකාවේ සහලින් ස්වයන්පෝෂිත වීමේ අරමුණට බාධාවක් වන අතර එය ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

තවද මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය නිසි ලෙස නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිය ප්‍රමිති රාමුව යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇති බවටද පෙත්සමෙන් චෝදනා කර ඇත.

ඒ අනුව, බියර් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීමට අවසර දීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.