August 19, 2026

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනයට විසඳුමක් ලෙස, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලේ පහසුකම් භාවිත කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

රක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල නවීන යටිතල පහසුකම්, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවකින් සමන්විත වුවද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ හිඟය හේතුවෙන් එහි පහසුකම් මෙතෙක් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය ඉහළ විශේෂඥ දැනුමෙන් යුතු මානව සම්පත් සහ අතිනවීන පහසුකම් සහිත ප්‍රමුඛතම මධ්‍යස්ථානය වුවද, ශල්‍යකර්ම සඳහා පවතින අධික ඉල්ලුම නිසා විශාල රෝගීන් සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනවල රැඳීසිටිති.

මේ අනුව, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් යොදාගනිමින්, පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමටත්, විශේෂඥ ප්‍රතිකාර ලබාදීමටත් මෙම වැඩසටහන මඟින් කටයුතු යොදා ඇත.